පී.සී.ආර්. පක්ෂණය ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු තානාපති නිලධාරියෙකු රටට ඇතුළු වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ඇමෙරිකානු තානාපතිනිය කැඳවීම ආණ්ඩුව විසින් සිදුකළ යුතුව තිබියදී එවැනි කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නේ ආණ්ඩුව ඇමෙරිකාව බිය නිසාදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11දා)
පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියහ.

එසේම අදාළ පුද්ගලයා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු නොවන බවටත්, එසේම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ සදර්න් කමාන්ඩ් බළඇණියේ (U.S. Southern Command)  කළ නිලධාරීයෙකු වන බවත් පෙන්වා දුන් මාධ්‍යවේදීන් කරුණු එසේ තිබියදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිදැයි යන්න වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියහ.

මාධ්‍ය හමුවේදී අවස්ථා කිහිපයකදීම මාධ්‍යවේදීන් මේ පිළිබද විමසා සිටියද මාධ්‍ය හමුවට එක්ව සිටි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කිසිවක් සාකච්ඡා නොවු බවයි.

මේ අතර ඊයේ පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේදී සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ සහ එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් හැර, වෙනත් දෑ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න නොකරන ලෙසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සමකැබිනට් ප්‍රකාශකවරයා අතර, මෙහිදී ඇතිවූ සංවාදය පහතින් දැක්වේ.

මාධ්‍ය - පී.සී.ආර්. පක්ෂණය ප්‍රතික්ෂේප කරමින් ඇමෙරිකානු තානාපති නිලධාරියා රටට ඇතුළු වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිනිය ගෙවා කරුණු විමසිය යුතුයි නේද ? ඇයි එහෙම අහන්න බැරී ? ආණ්ඩුව ඇමෙරිකාවට බයද?

සමකැබිනට් ප‍්‍රකාශකවරයා - නෑ. එහෙම දෙයක් ගැන කැබිනට් මණ්ඩලයේදී කතා වුණේ නෑ.

මාධ්‍ය - එතකොට ඇමතිතුමා මේ පුද්ගලයා තානාපති කාර්යාල නිලධාරීයෙකු නොවෙයි, යූ.එස්. සදර්න් කමාන්ඩ් එකේ හිටපු නිලධාරියෙක්. මේ පුද්ගලයා පුදුම අහංකාරයකින් රටට ඇතුළු වෙන්නේ. මෙය ශ්‍රී ලංකාවටත් හොඳ නෑ ?

සමකැබිනට් ප‍්‍රකාශකවරයා - මේ ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ නෑ.

(නිදර්ශනී වික්‍රමසිංහ)