විශ්වවිද්‍යාල සිසුවකු වූ තම පුත‍්‍රයා තදින්ම හෙරොයින්ටලට ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු පුනරුත්ථාපනය කර දෙන ලෙස සැකකාර සිසුවකුගේ පියෙක් තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලංසුරිය මහතාගෙන්
ඊයේ (25) ආයාචනයක් කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගත් තම පුත්‍රයා මෙවර පොලිසියට කොටුවූයේ තෙවන වරට බවද ඔහු මහේස්ත්‍රාත්වරයාට කියා සිටියේය.

හෙරොයින් මිලිග්‍රෑම් 73ක් සන්තකයේ තබාගත් බව කියන මෙම සැකකාර විශ්වවිද්‍යාල සිසුවා තෙල්දෙණිය පොලිසිය ඊයේ (25) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විණි.  මෙම සිද්ධිය ඊයේ පන්විල සංචාරක අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර සිසුවාගේ පියා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසුවේ තම පුත්‍රයා මින් ඉහතදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ තවත් නඩුවක් පවතින බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර සිසුවා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය. තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එස්. පත්මකුමාර, කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති එම්. පාලකුඹුර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත පොලිස් සැරයන් ජේ. විජේවික්‍රම මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ජේ.ඒ.එල්.ජයසිංහ)