මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින නියම කිරීමට අද (16) රැස්වූ මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජූලි 14,15,16 සහ 17 තැපැල් ඡන්දය සඳහා දින නියම කර ඇත.


එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිත ය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම එළඹෙන ජුනි 18 වනදා සිදුකෙරේ.


තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30, ජූලි 01 හා 02 යන දිනවල සිදුකිරීමට නියමිත ය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීස්ථාන, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ හැර අනෙක් රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජූලි මස 14 හා 15 යන දිනවලදී සිදුකිරීමට නියමිත ය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආකරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ ජූලි 16 හා 17 යන දිනවලදී පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට එළඹෙන ජූලි මස 20 වැනිදා හා 21ක් වනදා අවස්ථාව හිමිවන අතර ඔවුන්ට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම එළඹෙන ජූලි මස 29 වනදායින් අවසන් වේ.

එදිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.