ලොව පුරා අගුලු දැමීම ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාවට තමන්ගේ හිසකෙස් කැපීම සඳහා බාබර් සාප්පු ආදිය වෙත ගමන් කිරීමට අපහසු වී තිබේ. එනමුත් තාක්ෂණික ව්‍යවසායකයෙකු විසින් වෘත්තීය බාබර්වරුන් සමඟ
සම්බන්ධ වෙමින් ජනතාවට තමන්ගේ කොණ්ඩය කපා ගැනිමට සහාය වීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත.

වෘත්තීය කොණ්ඩා මෝස්තරයක් ලබා ගැනීමට මේ මොහොතේ බොහෝ දෙනෙකුට අවස්ථාවක් හිමි වන්නේ නැත. එබැවින් මීට විකල්පයක් ලෙස එකිනෙකා නිවසේදීම මෙම ක්‍රියාව සඳහා යොමු වී සිටියි. එනමුත් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ බාබර් සාප්පුවක් දියත් කර ඇති අතර එමඟින් වෘත්තීය බාබර් කෙනෙකු සමඟ වීඩියෝ ඇමතුමක් වෙන්කරවා ගැනීමට ජනතාවට ඉඩ සලසා ඇත.

youprobablyneedahaircut.com නමැති මෙම වෙබ් අඩවිය ඉතා සරල ක්‍රියාවලියක් ඉදිරිපත් කරයි. අවශ්‍ය වන්නේ පුහුණුකරු සමග හමුවීමක් වෙන්කරවාගැනීම සහ අවශ්‍ය මෙවලම් සූදානම් කරගැනීම පමණි. ලොව පුරා බාබර්වරුන්ට දැඩි ලෙස මෙම අර්බුදය බලපා ඇති බව වටහා ගත් ග්‍රෙග් ඉසෙන්බර්ග් මෙම වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වේ.  මෙම අදහස ඉදිරිපත් කළ ඔහු අන්තර්ජාල සේවාව මගින් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බවද මේ සඳහා දැනටමත් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද පවසා තිබේ.
(රිෂ්මි ඉෂාරා)