නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා තමන් සෑම දිනකම පාහේ හයිඩ්‍රොක්සිලෝරොක්වීන් (hydroxychloroquine) ඖෂධය ලබා ගන්නා  බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා එරට ආපනශාලා විධායකයන් පිරිසක් හමුවේ පවසා තිබේ.  මෙම ඖෂධය නව කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදීම
සඳහන් කර තිබුණි.
ඒ අනුව ධවල මන්දිරයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම ඖෂධය ගන්නා බව ට්‍රම්ප් පවසා ඇත.
"දැනට සති කිහිපයකට පෙර ඉඳන්ම මම මේ ඖෂධය බොන්න පටන් ගන්නා. ධවල මන්දිර වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකයන් මේ ඖෂධය මට නිර්දේශ කළා.” ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම ඖෂධය ලබා ගැනීම හරහා දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් එහි අතුරු ආබාධ රැසක්ම පවතින බවත් සඳහන් කර තිබේ. මැලේරියා රෝගය සඳහා ලබා දෙන මෙම ඖෂධය හරහා හදවත් රෝග ඇතිවීම ප්‍රධාන බවත් පැවසෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති ධවල මන්දිර
වෛද්‍යවරුන්, ට්‍රම්ප් මෙම ඖෂධය ලබා ගැනීම හරහා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත්, වෛරසය වැලඳීමේ අවදානම ඉවත් කරන බවත් පවසා තිබේ.  තත්ත්වය මෙසේ පවතිද්දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ COVID-19 හේතුවෙන් මරණයට පත්වන්නන් පිළිබඳව සංඛ්‍යාලේඛන පුරෝකථනය මේ වනවිට යම් අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද වාර්තා පවසයි.

එරට සකස් කළ ආදර්ශනයක් අනුව මෙම සංඛ්‍යාලේඛන පිළිබඳ පුරෝකථන ඉදිරිපත් විය. ඒ අනුව ලබන අගෝස්තු 4 වැනිදා වන විට එරට සිදු විය හැකි මරණ සංඛ්‍යාව 143,360ක් දක්වා පහත වැටී ඇත. එය පසුගිය මැයි 12 වැනිදා වන විට පැවැති පුරෝකථනයට අනුව මරණ 3,700 කින් අඩුවීමකි.
කෙසේ වෙතත් මීට පෙර සකස් කළ ආදර්ශයට අනුව රට තුළ ලොක්ඩවුන් සීමා ඉහිල් කිරීමත් සමග ජනතාව වැඩි වශයෙන් විවෘතස්ථාන වෙත පැමිණීම් ඉහළ යාම හේතුවෙන්  මෙම මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව තිබුණි.

 ඊයේ දිනය වනවිට එක්සත් ජනපදය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,508,957ක් ලෙස වාර්තා වී ඇති අතර එරට මරණ සංඛ්‍යාව 90,369ක් බවට පත්ව තිබේ.