සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය.

සේනාරත්න මහතා සම්බන්ධ නඩුව ඔන්ලයින් ක්‍රමයට  ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (27) විභාග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
 මේ වන විට පල්ලන්සේ කඳවුරේ රක්ෂිත භාරයේ නිරෝධායන වෙමින් සිටින සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය වෙත ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් විය.
 මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් 13 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවීමෙන් අනතුරුව රක්ෂිත භාරයට පත්විණි.
 මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර රාජිත සේනාරත්න මහතාට ඇප දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය. පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ඉකුත් 13 වැනිදා සැකකරු එසේ රක්ෂිත භාරයට පත් කළේය.
 සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නිතී සංග්‍රහ පනත සහ ජනාධිපති වරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සබන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ශනෙලුම්දෙණිය මහතා මුලින්ම විවෘත වරෙන්තු නිකුත් කළේ ඉකුත් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදාය.
පසුව, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිටපු අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්දඅඩංගුවට ගනු ලැබීය. පසුව රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීම කොළඹ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප දුන්නේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන අතර, මෙහි පළමු,දෙ වැනි සහ සිවුවැනි සැකකරුවන් වන්නේ, අංක 57/7, විද්‍යාල මාවත,
කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක (46) නොහොත් “උණ්ඩියල් අතුල", අංක 424/ඒ, අහුගම්මත, අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර (45) සහ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි යන අයයි.
 සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය නැවත 27 වනදා අධිකරණය හමුවේ කැඳවෙනු ඇත.
(නිමන්ති රණසිංහ)