බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ඔහු කොවිඩ් 19 වෛරසයට ධනාත්මක වූ නිසායි. නව කොරෝනා වෛරස මාරයාගෙන් මිදී නැවත සුපුරුදු
ජීවිතයට පැමිණි අවස්ථාවේදී ඔහුට 6 වැනි වතාවටත් පියෙකු වූ බව වාර්තාවී තිබුණි.
බොරිස් ජොන්සන් මහතාගේ අලුත උපන් බිලිඳාගේ නම ගැනද කතාවක් පැතිරිණි.
අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස්ගේ නව දරුවා විල්ෆ්‍රඩ් ලෝරි නිකලස් ජොන්සන් ලෙස නම් කර ඇත. තම දරුවාට දැමූ මෙම නම සම්බන්ධයෙන් සුවිශේෂී පසුබිම් කතාවක්ද ඇත. අගමැති බොරිස් ජොන්සන් එරට සෞඛ්‍ය සේවය වූ එන් එච් එස්  කණ්ඩායමට ස්තූති කිරීමට මෙම නම තැබූ බව කියැවේ.

 තම දරුවාට මෙම නම තබා ඇත්තේ විශේෂ කරුණු කිහිපයක් පදනම් කරගෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
විල්ෆ්‍රඩ් ලෝරි නිකොලස් ජොන්සන් යන නාමය ජොන්සන්ගේ සීයාගේ පසුපස නාමය වන විල්ෆ්‍රඩ් නාමයත්  කැරී සිමන්ඩ්ස්ගේ සීයාගේ පසුපස නාමය වන ලෝරි නාමයත් තම පුතුගේ මුල් නම ලෙස යොදා ගත් බව පවසා තිබුණි. එමෙන්ම නව කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමඟ බොරිස් ජොන්සන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඇපකැපවී තම රාජකාරිය ඉටුකළ වෛද්‍යවරුන් දෙදෙනා වන වෛද්‍ය නික් ප්‍රයිස් සහ වෛද්‍ය නික් හාර්ට්ගේ නම් පදනම් කොටගෙන නිකලස් යන නාමය තැබූ බවත් අගමැතිවරයාගේ බිරිය ප්‍රකාශ කොට තිබුණි.
මෙම යුවළ මාස කිහිපයකට පෙර විවාහ ගිවිසගෙන සිටින බවත් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින බවත් නිවේදනය කර තිබුණි.
නම තැබීම ගැන අදහස් දක්වන වෛද්‍යවරුන් දෙන්නා තමන් අතිශය පුදුමයට පත්වූ බවද සෑම රෝගියෙකුටම මේ ආකාරයෙන් තම සේවය ලබාදීමට පොරොන්දු වන බවද පවසා තිබුණි. බොරිස් ජොන්සන් මහතාගේ පවුලට සතුටින් සිටීමට  ආශිර්වාද කරන බවද ඔවුන් දෙදෙනා ඉතා සතුටින් ප්‍රකාශ කොට තිබේ.
රිෂ්මි ඉෂාරා