නව කොරෝනා වයිරසය හෙවත් "කොවිඩ්19" වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පනවා ඇති සීමා නිසා තේ පැන් හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් එතැනින් ආපසු හරවා යැවීමේ සිද්ධියක් වාර්තා වෙයි.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්19' වසංගත සමයේදී දුන් නායකත්වය හේතුවෙත් නවසීලන්ත
අග්‍රාමාත්‍යවරිය ලොවපුරා බොහෝ දෙනකුගේ ඇගැයීමට ලක්වූවාය. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පෙරේදා 16 වැනිදා සෙනසුරාදා ඇයගේ සහකරු සමග තේපැන්හලකට ගොස් ඇත. නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමා හේතුවෙන් අවන්හලකට ඇතුළත් කර ගත හැක්කේ සීමිත පිරිසකි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තේ පැන් හලකට යන අවස්ථාවේදී "කායික දුරස්ථභාවයට"අදාළ මාර්ගෝපදේශවලට අනුව ඊට යා හැකි උපරිම පිරිස එහි සිට ඇත. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ සහකරු නැවත හරවා යවා ඇත.

ආඩෙන්ගේ ආණ්ඩුව පසුගිය 14 වැනිදා බ්‍රහස්පතින්දා සමාජ දුරස්ථභාවයට අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර, මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබුණු අවලන්හල්,තේපැන්හල්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ ද විවෘත කෙරිණි. නවසීලන්තය පමණක් නොව අනෙකුත් රටවල් ද වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා දැඩි සීමා පැනවීය.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ආඩෙන් සහ සහකරු ක්ලාක් ගේෆෝඩ් සෙනසුරාදා වෙලින්ටන් අගනුවර පිහිටි තේපැන්හලකට ගිය අවස්ථාවේ මෙයට මුහුණදීමට සිදුව ඇත. මුල් අවස්ථාවේදී එහි අසුන් සියල්ල පිරී ගොස් තිබූ හෙයින් ඔවුන් ආපසු හරවා යවා ඇති අතර, කෙසේ වුවද මිනිත්තු කිහිපයකින් මේසයක් හිස් වී ඇත. ඉන්පසු තේ පැන්හලේ සේවකයකු එය දැන්වූයෙන් ආපන ශාලාවට යළි පැමිණ තේ බී ගොස් ඇත.

සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් එල්ලවීමට පෙර කොරෝනා වයිරස' වසංගතය පාලනය කරගැනීමට සමත් වූ රටක් වශයෙන්ම නවසීලන්තය ලෝකයේ ප්‍රචලිතව තිබිණ.නවසීලන්තයෙන් ඊයේ (17 වැනිදා) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයගේ ගණන 1,408ක් යැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 21ක් ලෙස ද දැක්විණි.