මාස දෙකකට ආසන්න කාලයක් ඉතාලියානුවන් බොහොමයකට තම නිවෙස් අතහැර යාමට සිදු වූයේ නව කොරෝනා වෛරස වසංගතය එරට ගිල ගැනීමත් සමගයි. නමුත් මෙම වෛරසය යම්තාක් දුරට පාලනය කර ගැනීමට ඉතාලිය මේ වන විට සමත්ව තිබේ. මේ හේතුවෙන් තම ගම්බිම් අතහැර පැමිණි ජනතාවට නැවතත්
එම ප්‍රදේශයන් වෙත යාම සඳහා අවස්ථාව හිමිව තිබේ.

ඉතා දරුණු ඛේදවාචකයකින් අනතුරුව ඉතාලිය තම ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමට සූදානම්ව සිටින බව එරට අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක පවසා තිබුණි. නමුත් ආසාදිතයන් වැඩීවීමට තවමත් අවදානමක්  ඇති බව ඔහු පෙන්වා දෙන්නේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන බව ද පෙන්නුම් කරමිනි.

කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ස්ථාන නැවත විවෘත කිරීමත් සමඟ බස්රථ ආදී පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීම සඳහා රජය නව නීති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. සති අටකට පසු පළමු වතාවට පොදු උද්‍යාන නැවත විවෘත කිරීමත් සමඟ ඉතාලියානුවන්ට නැවතත් තමන්ගේ සුපුරුදු ජීවන රටාවට අනුවර්ථනය විය හැකි වුවද ඉතා වගකීමෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වන බව ඔහු පවසා ඇත්තේ එරට තවමත් මෙම කොවිඩ් 19 වසංගතයේ අවදානම ඇති බව පසක් කරමිනි.  ඉතාලියානුවන් නීති රීති අනුගමනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්  රට පෙර පැවති තත්වයට ආපසු යාමට අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආන්ඩුව පසුගිය මාසයේ සිය සමාජ දුරස්ථ පියවර ලිහිල් කරමින් සමහර වෙළඳසැල් නැවත විවෘත කළ නමුත් තවමත් මෙය ඉතා අවදානම් බව ඇතැම් විද්වතුන් පෙන්වා දී ඇත. නමුත් ඉතාලියේ බොහෝ සීමාවන් තවමත් ක්‍රියාත්මක වන අතර අවන්හල්, බාර්, පාසල් සහ කෞතුකාගාර ආදිය තවමත් වසා දමා ඇත. පුද්ගල එක්රැස්වීම් ද තවමත් තහනම් කර ඇති අතර, පවුලේ සාමාජිකයන් බැලීමට පවා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අවශ්‍ය බව රජය තරයේ පවසා ඇත.

(රිෂ්මි ඉෂාරා)