විද්‍යානුකූලව විෂබීජහරණය කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මගින් දක්වා ඇත්තේ පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා එය සිදු කිරීමට යාමෙන් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේ සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුයි යනුවෙනුයි.

එමෙන්ම මුළු මහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් සිදු කළ යුතු නැති බවත්, රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය විශාල බවයි එමගින් පෙන්වා දෙන්නේ.


විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බව එම අමාත්‍යංශය අවධාරණය කරනවා.

එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.
ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමයි.



විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් පමණක් මෙය නියමාකාරව සිදු නොවන අතර මේ සඳහා මෙම පෘෂ්ඨයන් විෂබීජ නාශක දියර මගින් පිස දැමීම කළ යුතු බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් වැදගත් වනුයේ තමාගේ දෑත් පිරිසිදුව තබා ගැනීම, නාසය, ඇස් සහ මුඛය වරින්වර ඇල්ලීමෙන් වැළකී සිටීම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ ඇත් නම් නිවස තුළම සිට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ මගින් ලබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමයි යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.