කොරෝනා වයිරසයේ පුනර්ජීවනයක් ඇතිවීම හේතු කොට දකුණු කොරියාවේ පසුගියදා නැවත විවෘත කළ පාසල් වසා දමා ඇති බව සිකුරාදා වාර්තා විය. අද (29) සිකුරාදා වාර්තා අනුව පාසල් 500 කට වැඩි ප්‍රමාණයක් නැවත සිසුන් සඳහා වසා දමන ලදී.
බ්‍රහස්පතින්දා වන විට පාසල් 838 ක් නැවත විවෘත කිරීම කල් දමා අන්තර්ජාල පන්ති පැවැත්වූ බව වාර්තා විය.

සිකුරාදා උදෑසන වන විට දකුණු කොරියාවේ මුළු රෝගීන් 11,402 ක් වාර්තා වී තිබේ. මරණ 269 ක් සිදුව ඇති අතර රෝගීන් 770 ක් මේ වන විට හුදෙකලා වී සිටිති.
මිලියන 52 කට ආසන්න ජනගහනයකින් අඩක් පමණ වාසය කරන සෝල් අගනගරයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන උද්‍යාන, කලාගාර, කෞතුකාගාර සහ රංගශාලා ද ඉදිරි සති දෙක සඳහා මහජනතාව සඳහා වසා දමා ඇත.
රජය විසින් පවත්වනු ලබන අගනගරයේ සිදුවීම් අවලංගු කිරීම හෝ කල් දැමීම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ බ්‍රහස්පතින්දා (28) පැවසීය. පෞද්ගලික ඇකඩමි සහ ආපනශාලා ජුනි 14 වනදා දක්වා වසා දැමිය යුතු බවට බලධාරීන් නිර්දේශ කර තිබේ.
ඉදිරි දෙසතිය තුළ එළිමහනට යාම හෝ උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස පාක් සියොල් අගනගරයේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා ඇත.
කොරෝනා වයිරස් නිසා බුචියොන් හි සැපයුම් මධ්‍යස්ථානයක පොකුරක් හමුවිය.
සිකුරාදා වන විට රෝගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් එකී පොකුරට සම්බන්ධ වී ඇති බව උප සෞඛ්‍ය අමාත්‍ය කිම් ගං-ලිප් කෙටි සාකච්ඡාවකදී පැවසීය. මේ වන විට සේවකයින් 4,351 දෙනෙකුගෙන් 3,836 දෙනෙකු සහ මධ්‍යස්ථානයේ අමුත්තන් පරීක්ෂාවට ලක් කර ඇති බව ඔහු පැවසීය.
-(සූසර් ජයනන්ද)