ලෝසැන්හි ස්විට්සර්ලන්ත ෆෙඩරල් තාක්ෂණ ආයතනයේ (ඊපීඑෆ්එල්) කණ්ඩායමක් විසින් යමෙකුගේ කැස්ස පරීක්ෂාවට ලක් කර එම පුද්ගලයා COVID-19ට ධනාත්මක විය හැකිද යන්න තීරණය කළ හැකි කෘතිම බුද්ධිය පදනම් කරගත් පද්ධතියක් නිර්මාණය කර ඇත.

COVID-19 හි එක් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ වියළි කැස්සයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වෛරසය වැළඳී ඇති පුද්ගලයින්ගෙන් සියයට 67.7ක පමණ මෙම ලක්ෂණය දැකගත හැකිය.

ඊපීඑෆ්එල්හි පර්යේෂකයන් පස් දෙනෙකු විසින් ස්මාර්ට් ජංගම
දුරකතනය ඇසුරින් පරිශීලකයාගේ කැස්ස සටහන් කරන මෙම යෙදුම නිර්මාණය කර ඇත. එම යෙදුම මගින් ඔවුන්ට COVID-19 තිබිය හැකිද යන්න තීරණය කළ හැක. මෙම සොයා ගැනීම සමස්ත ලෝකයටම ඉතා ප්‍රයෝජනවත් වන බව පැහැදිලිය.

කෘතිම බුද්ධිය පදනම් කරගත් පද්ධතිය මගින් ශ්වසන තත්ත්වය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන් රෝගියෙකුගේ කැස්සකට ඇහුම්කන් දෙන ආකාරයටම කැස්ස අතර ඇති විවිධ වෙනසකම් හඳුනා ගනී. පළමුව මෙම යෙදුම ස්ථාපනය කර රෝගීන්ගේ කැස්ස සටහන් කළ යුතුයි. පුළුල් පරාසයක රෝගීන්ගෙන් ප්‍රමාණවත් දත්ත එක්රැස් කරන විට 70%ක නිරවද්‍යතා අනුපාතයක් කරා ළඟා වීමට මෙම පර්යේෂණ කණ්ඩායම අපේක්ෂා කරයි. කෙසේ වෙතත් යෙදුම තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින අතර ඉදිරි සති කිහිපය තුළ එය බොහෝ ස්ථානයන්හි ස්ථානගත කිරීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

- රිෂ්මි ඉෂාරා -