අද (05) උදෑසන 11.15 ට පමණ කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ගැනීමෙන් පසු කුරුණෑගල පොලිසිය හා කුරුණෑගල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ යුධ හමුදා
නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ගින්න මැඩපැවත්වීමට කටයුතු කරන ලදී.

මෙම ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම ඖෂධ ගබඩාවේ සේවය කරනු ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයකු විසින් අධි සාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශකයක් වන T.C.L. නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන 04ක් ලබාගෙන ඒවා රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේදී එම භාජනයක් තුලින් හදිසි ගින්නක් හටගෙන ඇත. එම ගින්න නිවීම සඳහා ජලය බාල්දියක් දැමීමේදී ජලය සමඟ රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර මෙම ගින්න හටගෙන බිම් මහලේ කාමර 3ක සහ කොරිඩෝවේ ගබඩා කර තිබූ ඖෂධ අඩංගු පෙට්ටි වලට ගිනි ඇවිලී විනාශවී ගොස් ඇත.
මෙම ගින්න හටගත් ගොඩනැගිල්ල මහල් 04කින් යුක්ත වන අතර, පළමු මහලෙන් ඔබ්බට ගින්න පැතිර යාමට ඉඩ නොදී වලක්වා ගැනීමට කටයුතු කර ඇති අතර, පහත මහලේ තිබූ ඖෂධ වර්ග වල විශාල ප්‍රමාණයක් විනාශ වීමට ඉඩ නොදී ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. එසේම ගොඩනැගිල්ලේ තෙවන මහලේ සිරවී සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් සිවු දෙනෙකුද නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.

මෙම ගින්න හේතුවෙන් කිසිදු පුද්ගලයකුට ජීවිත අනතුරු හෝ තුවාල කිසිවක් සිදුව නොමැති අතර සිදුවූ අලාභය පිළිබඳ තක්සේරු වාර්තවක් ලබා ගැනීමට හා ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇත. කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.