මෙම කොවිඩ් – 19 වසංගත රෝග සමයේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට
කටයුතු යොදා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට අනුව මුලින්ම සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටින සිසුන්ට පළමු අදියරේ අවස්ථාව ලබා දෙන බවයි පැහැදිළි කෙරුණේ.

මුලින්ම මෙම සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ 21 වැනිදා සිසුන් 115 ක් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවද , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.

ඉන්පසුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට එරටට ගොස් සිටින සිසුන් 105 ක් , ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවයි පැවසුවේ.මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබන සියලුම සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අනිවාර්යයෙන්ම නීරෝධායන කටයුතු සදහා යොමු කරන බවද සදහන්.

එසේම පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ පාකිස්තානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පකිස්ථානයට විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට අවසර දී ඇති බවයි.

පාකිස්තානයේ ARY ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ, අප්‍රේල් 21 වන දින කොළඹ-කරච්චි-ලාහෝර්-කොළඹ වෙත ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා ගුවන් යානයක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කළ ඉල්ලීමකට පාකිස්තානය අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ජාතිකයින් 113 දෙනෙකු ගෙන්වා ගැනීමට අනුමත කර ඇති බවයි.