චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරස වසංගතය දකුණු අප්‍රිකාවට ද ව්‍යාප්ත වී තිබෙනු දක්නට ලැබුණු නමුත් මේ වන විට දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයින් හමුවීම වර්ධනය වුවත් රජය පවසන්නේ යම්තාක් දුරට තමන්ගේ රෝගීන් සංඛ්‍යාව පාලනයකට ලක්කර ඇති බවයි. ඒ හේතුවෙන් එරට මේ මාසයේ අගුලු දැමීමේ
සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මෑත දත්ත වලට අනුව දකුණු අප්‍රිකාවෙ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4220 ක් පමණ වන අතර මරණ සංඛ්‍යාව 79 ක් බවට වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ අසාදිතයින් සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇතිවා සේම ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු මහද්වීපය ඊළඟ කොරෝනා මර්මස්ථානය වනු ඇති බවට අනතුරු ඇඟවීමක්ද කර තිබුණි.


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මහතා පවසා තිබෙන්නේ මැයි පළමුවන දින රට වසා දැමීමේ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන බවයි. මේ අවස්ථාව වන විට තම රට යම්තාක් දුරට මෙම වෛරසයට සාර්ථක ලෙස මුහුණ දී ඇති බව ඔහු පෙන්වාදෙයි. නමුත් ඉදිරියේදීද මෙම වෛරසයට එරෙහිව සටන් වැදීමට තමන් සූදානම් බව ඔහු පවසන්නේ ඉදිරියේදී ගනු ලබන තිරණ පිළිබඳවද යම්කිසි වැදගත් තොරතුරු කිහිපයක් ද ඉදිරිපත් කරමිනි.

මෙම නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් තමන්ගේ රට පස් වැදෑරුම් අනතුරු ඇඟවීමේ පද්ධතියක් අනුගමනය කිරීමට සූදානම් බවත් ඔහු පවසා තිබේ. එය ද මැයි පළවනදා සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් බව එරට ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එමෙන්ම ඔහු පවසා ඇත්තේ තමන්ගේ ජනගහනය තුළ වෛරසය පැතිරීමේ වේගය හා ආකාරය පිළිබඳව තවමත් නිසි පරිදි නොදන්නා බැවින් ඉදිරි පියවරයන් ගැනීමේදී ඒ පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවයි.


එමෙන්ම එරට ජනාධිපති පවසන පරිදි වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව මේ වන විට ඉහළ මට්ටමෙන් තමන්ගේ රට අගුලු දමා තිබේ. නමුත් රට මෙසේ දිගින් දිගටම අගුලු දමා තිබීම සිදුකළ නොහැකි හෙයින් රට පුරා අතිශය ආරක්ෂාවන්ට යටත්ව ඇතැම් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට ඉඩදීමට කටයුතු කරන බව ඔහු පවසා තිබේ. නමුත් එම අගුලු දැමීමේ පියවර මෙසේ ලිහිල් කරන්නේ ක්‍රමයෙන් බව දන්වා ඇත.


- රිෂ්මි ඉෂාරා -