නව කොරෝනා වෛරසයත් සමග බොහෝ සානුකම්පිත සිදුවීම් විශාල ප්‍රමාණයක් අපට අසන්නට ලැබේ. 28 හැවිරිදි මේරි අගියේවා අග්‍යපොංග් නැමැති NHS හෙදියගේ සිදුවීමද එවන් කණගාටුදායක සිද්ධියකි.  මේරි අගියේවා අග්‍යපොංග් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ ධනාත්මක යැයි හඳුනා ගන්නා විට ඇය ගැබිනියක වී සිට ඇත. ඇයගේ රෝගී තත්ත්වය දරුණු වීමත් සමග වෛද්‍ය කාර්ය මණ්ඩලය තීරණය කර
ඇත්තේ හදිසි සිසේරියන් සැත්කමක් ඇයට සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් මේ 28 හැවිරිදි මේරිට පසුගිය ඉරිදා දිනයේදී මිය යන්නට සිදුවිය. නමුත් ඇයගේ කුඩා දැරිය ජීවතුන් අතර සිටීම සියලු දෙනාගේ සිත් සතන් තුළට සතුටු කඳුළක් එක්කළ කරුණකි.


කෙසේ වෙතත් මේ වන විට NHS සේවකයන් හතලිස් පස් දෙනෙක් මරණයට පත් වී තිබේ. මෙම වෛද්‍ය කාර්යමණ්ඩලයේ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවට හොඳම සාක්ෂි සපයන්නේ ඉරිදා දින සිදු වූ  මේරි අගියේවා අග්‍යපොංග් මරණයයි. මේරි නව කොරෝනා වෛරස බලපෑමට ලක් වූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දුන් හෙදියකි. ඇය ගර්භනී තත්වයේ සිටිය ද ඇයගේ සේවය පැහැර නොහැරි දිරිය කාන්තාවකි. නමුත් හදිසි සිසේරියන් සැත්කමින් පසු ඇයට ඉරිදා දින මියයන්නට සිදු විය. නමුත් ඇගේ කුඩා දැරිය ජීවතුන් අතර සිටින බවට කරුණු වර්ථා වී ඇති. එනමුත් එම දැරිය කොරෝනා සඳහා ධනාත්මක රෝග ලක්ෂණ පෙන්වා ඇතැයි ද යන්න තවම පැහැදිලි නැත.

NHS භාරයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කාටර් මහතා කියා සිටියේ මේරිගේ තත්වය නරක අතට හැරීමෙන් පසුව හදිසි සිසේරියන් සැත්කමක් සිදු කිරීමට ඔවුන් තීරණය කළ බවයි. වෛද්‍යවරුන් මුලදී සිතුවේ ඇය නව කොරෝනා වෛරස රෝගී ස්වරූපයෙන් සුව වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි. නමුත් දිනෙන් දින ඇගේ රෝග ලක්ෂණ යළිත් නරක අතට හැරීම හේතුවෙන් මෙම හදිසි සැත්කම කරන්නට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. එමෙන්ම මේ වන විට ඇගේ දරුවා රෝහලේ නව උපන් දැඩි සත්කාර ඒකකය තුළ රැක බලාගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ වන විට කුඩා දැරිය සහ මේරිගේ ස්වාමිපුරුෂයාව කොවිඩ් 19 සදහා පරීක්ෂාවට ලක් කර ඇති බව බොහෝ දෙනා පවසයි. නමුත් රෝහලේ කාර්ය මණ්ඩලය පවසන්නේ රෝහල් සේවයේ යෙදී සිටියදී ඇයට කොවිඩ් 19 වැළඳී නොතිබුණු බවයි. කෙසේ වෙතත් ගර්භනී කාර්ය මණ්ඩලයට නිල මගපෙන්වීමක් සිදුකළ යුතු බව බොහෝ විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම මේරිගේ මරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් NHS භාරයේ ප්‍රධාන විධායක ඩේවිඩ් කාටර් මෙසේ පැවසා ඇත. "ඉරිදා අභාවප්‍රාප්ත වූ අපගේ හෙදියක් වන මේරි අගියේවා අග්‍යපොංග්ගේ මරණය මට සනාථ කිරීමට සිදුවීම අතිශයින් කනගාටුවට කරුණක්. මේරි අගියේවා අග්‍යපොංග් වසර පහක් අපගේ රෝහලේ සේවය කළ අතර අපගේ කණ්ඩායමේ ඉහළ ආදරය දිනාගත් කාරුණික සාමාජිකාවක්. එසේම ඇය අනිත් හෙද නිලධාරිනියන්ට ද හොඳ ආදර්ශයක් සපයන හෙදියක්."  ඔහු මෙසේ් පවසමින් ඇගේ මරණය පිළිබඳව සාතිශය සංවේගය පළ කර ඇත.


කෙසේ වෙතත් මෙම හෙදිය කොවිඩ් 19 සඳහා ධනාත්මක වී ඇත්තේ අප්‍රේල් මස පස් වන දිනයි. නමුත් ඇය රෝහල්ගත කර ඇත්තේ අප්‍රේල් හත්වන දිනයේදීය.  කෙසේ වෙතත් ඇයගේ මරණයෙන් පසු ඇගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් සඳහා මූල්‍යමය අරමුදල් පිටුවක් සකසා ඇති අතර ඩොලර් 54000කට වඩා මුදලක් ඊට එක් රැස් වී තිබේ. එම විස්තරයේ සඳහන්ව තිබී ඇත්තේ " මේරි ඔබ සදහටම අපගේ හදවත් තුළ සිටිනු ඇත. ඔබගේ මතකයන් තවමත් අප සමග ඇති අතර අප නැවත මුණ ගැසෙන තුරු අපි ඒවා සදහටම ආදරෙන් රැකබලා ගන්නෙමු" යනුවෙනි. එසේම අපව ඔබට සදහටම මග හැරෙනු ඇතැයි අවසානයේ එහි සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ගර්භනී මාතාවන් සදහා නිසි මග පෙන්වීමක් තිබුණේ නම් ඇයට මෙම ඉරණම අත් නොවන්නට ඉඩ තිබුණි. මාර්තු 16 වනදා සිට රජය විසින් ගර්භණි කාන්තාවන් අවදානමට ලක්විය හැකි බව ප්‍රකාශයට පත් කරමින් ඔවුන්ව එම අවදානමට ලක්විය හැකි ලයිස්තුවට ද ඇතුළත් කර තිබුණි. එමෙන්ම රෝගය වැළඳුණු කාන්තාවකගෙ වැඩෙන කළලයට  මෙම වෛරසය මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් සොයා ගෙන නොමැත. එබැවින් සියලු ගර්භනී කාන්තාවන් අනෙක් පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමේදී නිසි ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීම වැදගත් වේ.

මෙම මේරි අගියේවා අග්‍යපොංග්ගේ කතාව සමස්ත ගර්භනි මාතාවන්ටම මේ වන විට මුහුණ දීමට සිදුවී ඇති අවදානම් සහගත තත්ත්වය මැනවින් පිළිබිඹු කරයි. දැන් ඇයගේ දරුවාට ඇය නොමැතිව තනිවම වැඩීමට සිදුවී ඇත. මෙයට හේතුව නොසැලකිලිමත්කම ද ?එසේත් නැතිනම් නිසි මගපෙන්වීමක් නොමැතිකම ද ? කෙසේ වෙතත් මෙම සිදුවීම සමස්ත ලෝකයේම රෝහල් කාර්ය මණ්ඩලයට ගැඹුරු පණිවුඩයක් ලබා දෙන සිදුවීමකි. එමෙන්ම සමස්ත ලෝකයේම ගර්භනී කාන්තාවන් මෙම කතාව නිසි සේ තේරුම්ගෙන තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇත.

- රිෂ්මි ඉෂාරා -