තම කරත්තයේ පලතුරු අසුරන අතරතුර වෙළෙන්දෙකු ඇඟිල්ල ලෙවකන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී. කොරෝනා වෛරස් වසංගතය ලොව පුරා ව්‍යාප්තව
තිබෙන මෙවන් අවස්ථාවක මෙම අපිරිසිදු හැසිරීම බොහෝ දෙනෙකු කම්පනයට පත් කර ඇති අතර, එය වෛරසය පැතිරවීමේ අරමුණින්  හිතාමතාම සිදුකළ ක්‍රියාවක් ලෙස නිරූපණය කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කොට තිබේ. එබැවින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් පළ වන පුවතේ සත්‍යතාව පිළිබඳව අනාවරණය කරගැනීමේ අරමුණින් අප විමර්ශනයක් සිදු කරන ලදී.


එහිදී අනාවරණය වූයේ එම වීඩියෝ පටය පැරණි බවත් පලතුරු විකුණන්නාට එරෙහිව නඩු පවරා ඇති බවත් ය. එමෙන්ම මෙම වීඩියෝ පටය 2020 පෙබරවාරි මාසෙදි ගනු ලද්දක් බවට කරුණු අනාවරණය වී තිබේ. මෙම පලතුර විකුණන තැනැත්තා නමින් ෂේරු ඛාන් නැමැත්තෙකි. එසේම මෙම පලතුරු විකුණන්නාට එරෙහිව 2020 අප්‍රේල් 3 වන දින ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 269 සහ 270 වගන්ති යටතේ දඬුවම් ලබා දී තිබේ.

තවදුරටත් කරුණු සොයා බැලීමේදී මෙය 2020 පෙබරවාරි 16 වැනිදා සිදුවුවක් බව ද තහවුරු විය. එසේම මෙම වීඩියෝ පටය ලබාගත් පුද්ගලයා සඳහන් කර ඇත්තේ එය පෙබරවාරි 16 වන දින රූගත කළ බවයි.

කෙසේ වෙතත් ඛාන්ගේ දියණිය විසින් පවසා ඇත්තේ තම පියා මානසිකව අස්ථාවර බවයි. එසේම ඛාන්ගේ දියණිය තවදුරටත් පවසා තිබෙන්නේ ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු නිරන්තරයෙන් සෑම දෙයක්ම ගණන් කරන්නේ මෙම ආකාරයට බවත් මෙම පලතුරු ඇසිරීමද  ඔහුගේ එම මානසික ව්‍යාධි තත්වය හේතුවෙන් සිදු කර ඇති බවත්ය. එබැවින් ඔහුගේ මෙම ක්‍රියාව කිසිසේත් නව කොරෝනා වෛරසය සමග සම්බන්ධතාවක් නොපවත්වන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.


එබැවින් මෙම වීඩියෝ පටය පෙබරවාරි මාසයේ සිදුවූ සිද්ධියක් බවත් මේවන තෙක් එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් පිළිබඳව වාර්තා වී නොමැති බවත් සොයා ගැනීමට හැකිවිය. එබැවින් මෙම මුස්ලිම් පළතුරු වෙළෙන්දාගේ සිදුවීම කිසිසේත් නව කොරෝනා වෛරසය සමඟ සබඳතාවයක් නොපෙන්වන බව තහවුරු වී තිබේ. එමෙන්ම මෙය ජනතාව රැවටීම උදෙසා ප්‍රචාරය කරන ලද ව්‍යාජ පුවතක් බවද මේ වන විට සොයාගෙන තිබේ. එබැවින් මෙවැනි අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව අනවශ්‍ය ලෙස බිය ගැන්වීම සුදුසු නොවන බව සියලු දෙනා තේරුම්ගත යුතුයි.

(රිෂ්මි ඉෂාරා)