දැනට තීරණය කර ඇති පරිදි ස්ථිර වශයෙන්ම ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතහොත් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් මැයි මස 4 වනදාට පෙර යළි සමාලෝචනය
කිරීමට මැතිවරණ කොමිසම එකඟතාව පළ කර තිඛෙයි.

ඒ අනුව ඉදිරි සතියේදී මැතිවරණ දිනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීම සඳහා තවත් සාකච්ඡාවක් පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙයි.

ඒ නාමයෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂවල නායකයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් පසුය.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් එක්ව සිටි අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් එක්වුණා.

මීට අමතරව, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කිහිපදෙනෙකු ද සාකච්ඡාවට එක්වුණි.

කොරෝනා වසංගත තත්වය අනුව ඇතැම් විට මහමැතිවරණය පවත්වන දිනය තවදුරටත් සංශෝධනය විය හැකි බව කොමිසමෙහි සාමාජිකයන් මෙහිදී දැනුම් දී ඇත.