අද වන විට එක්සත් ජනපදය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ නව කොරෝනා වෛරස රෝගීන් දිනෙන් දින වැඩි වශයෙන් වාර්තා වන රටක් බවට එක්සත් ජනපදය පත්වීමත් සමගිනි. මේ සමගම එක්සත් ජනපදයේ ජීවත් වූ බස් රථ රියැදුරකු පිළිබඳ
සංවේදී පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව දක්නට ලැබේ  මෙම පුද්ගලයා සාමාන්‍ය බස් රථ රියැදුරකු වන අතර ඔහුගේ බස් රථයේ ගමන් කළ කාන්තාවකගේ නොමනා හැසිරීමක් පිළිබඳව පසුගිය දිනයකදී ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බෙදා හදා ගෙන තිබුණි.

එම කාන්තාව මුහුණු ආවරණයක් ද නොපැළදමින් කහිමින් සිටින බව පවසමින් ඔහු මෙසේ තම වීඩියෝව පළකර තිබුණි. පනස් හැවිරිදි මෙම රියදුරා නමින් ජේසන් හාර්ග්‍රෝව් නම් විය. කිහිප වරක්ම මෙම කාන්තාව එසේ අනිසි ලෙස හැසිරී ඇති බව ඔහු තම වීඩියෝ පටය තුලින් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් මෙම වීඩියෝව බෙදා හදාගෙන දින කිහිපයකට පසු ඔහු තම ජීවිතයෙන් සමුගෙන ඇත්තේ නව කොරෝනා වෛරස මාරයාගේ තවත් එක් ගොදුරක් බවට පත්වෙමිනි.

තමන්ගේ බස් රථය තුළ අනිසි ලෙස හැසිරුණ මෙම කාන්තාව පිළිබඳව ඔහු මෙසේ අන් පුද්ගලයන් දැනුවත් කරන්නේ මාර්තු 24 වන දිනයි. නමුත් තවමත් ජේසන්ගේ මරණයට තුඩුදුන් කොරෝනා වෛරසය කෙසේ ඔහුට වැළඳුණේ දැයි සොයා ගෙන නොමැත. කෙසේනමුත් මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් බව සියලු දෙනා තේරුම්ගත යුතුයි.

ජේසන්ගේ මියයාමත් සමග අනෙක් රියදුරන්ද බොහෝ කලබලයට පත්ව තිබේ. එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන් රජයෙන් ප්‍රශ්න කර තිබේ. තම මිතුරාගේ මරණයට හේතුව තමන්ගේ අනාරක්ෂිත රැකියාව බව ඔවුන් පෙන්වා දෙන්නේ ජේසන්ගේ මරණය පිළිබඳව කණගාටුවද ප්‍රකාශ කරමිනි.

CNN වාර්තා වලට අනුව වීඩියෝවෙන් දින හතරකට පසු ජේසන් නව කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ මෙම වීඩියෝව ෆේස්බුක් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය රාශියක් ඔස්සේ බොහෝදෙනා බෙදාහදා ගෙන තිබුණි. එමෙන්ම ඔහුගේ මරණයත් සමග එම පුවත බෙදාහදාගත් බොහෝ දෙනා මරණය පිලිබදව ශෝක පණිවිඩද මෙම මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ සැමගේ සිත් සතන් සංවේගයට පත්කරමිනි. ඇතැමුන් ප්‍රශ්න කර ඇත්තේ මෙම දුප්පත් අහිංසක මිනිසා අනාරක්ෂිත නොමනා හැසිරීමකින් යුතුව කටයුතු කළ කාන්තාවක් නිසා මිය යන ලදී. එම බස් රථයේ තවත් කී දෙනෙකුට මෙම ඉරණම අත්වී ඇතිද යනුවෙනි.

කෙසේ වෙතත් ජනතාවට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව එරට ජනාධිපති විසින් දැනුම් දුන්නද ඇතමුන් එය නොසළකා හරින බවට හොඳම නිදසුනක් ලෙස මෙම සිදු වීම දැක්විය හැක. දිනෙන් දින නව රෝගීන් ඉහළ යන මෙවන් අවස්ථාවක මෙලෙස අනාරක්ෂිතව හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අප පිළිගත යුතුයි. එබැවින් මෙවන් අවස්ථාවක සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමට අප වගබලාගත යුතුයි.

- රිෂ්මි ඉෂාරා -