හලාවත මහ රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයකු බවට සැක කරන පුද්ගලයා අල්ලා රෝහල්ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය සමත් වී ඇත. පෙරේදා (18) සවස 5.00 පමණ මෙම පුද්ගලයා රෝහලෙන් පැනගොස් තිබුණි. මෙලෙස පැනගොස් වෙනත් නිවසක සැඟව සිටිය දී මෙලෙස කොටු
කරගෙන ඇත.
කොළඹ නාගලගම්වීදිය ප්‍රදේශයේ
පිරිසක් නිරෝධායනයට යොමු කරන අවස්ථාවේ මෙම පුද්ගලයා ද එතැන සිට පැනවිත් තම නිවෙසේ සැඟව සිට තිබේ.
ඒ පිළිබඳ ලැබුණු තොරතුරු මත සෞඛ්‍ය අංශ මගින් මෙම පුද්ගලයා අල්ලා හලාවත මහ රෝහලට යොමු කර ඇත්තේ පසුගිය 18 වැනිදාය. එදිනම සවස ඔහු රෝහලෙන් පැන ගොස් ඇත. මන්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී ඇති 30 හැවිරිදි මෙම පුද්ගලයා රෝහලෙන් පැන ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා එන අතර ඒ පිළිබඳ තම මවට ද දුරකතනයෙන් දන්වා ඇත. ඔහු දුරකතනයෙන් මවට පවසා ඇත්තේ ත්‍රිරෝද රථයට ගෙවීම සඳහා මුදල් සූදානම් කරගන්නා ලෙසය.
වහාම ක්‍රියාත්මක වූ මව මේ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීකෙවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම පුද්ගලයා අල්ලාගෙන ඇතැයි පැවසේ. මෙම පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරු පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබේ.

පුත්තලම - ජූඩ් සමන්ත