සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිද්දී විවිධ ප්‍රකාශ මඟින් ජනතාව නොමග යැවීම කණගාටුවට කරුණක් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.


සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා සති අන්ත පුවත් පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ගෙවතු වගාවන්ට ජනතාව උනන්දුවීමත් සමඟ රටපුරා පොහොර හිඟයක් මතුව තිබෙන බව කරුණාරත්න මහතාගේ ප්‍රකාශයේ සඳහන්. එම තත්ත්වය මත යූරියා සහ මිශ්‍ර පොහොර අධික මිල ගණන්වලට වෙළෙදුන් අලෙවි කරන බවයි නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශය ඇතුළත් පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇත්තේ. දුෂ්කරතා රාශියක් මධ්‍යයයේ සාර්ථකව ක්‍රියාවට නැංවෙන සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහනේ අපේක්ෂාව දෛනික පරිභෝජනයට අවශ්‍ය ආහාර ගෙවත්තෙන්ම සපයා ගැනීමට පරිසරය නිර්මාණය කර දීමයි. ඉවතලන කුණු රොඩු, දිරාපත්වන ද්‍රව්‍ය ආදිය යොදා ගනිමින් කාබනික පොහොර සැකසීම වඩා සුදුසු බව බීජ නිකුත් කරන පැකට්ටුවේ පවා සඳහන් කර තිබෙනවා. වස විස නොමැති ගෙවත්තක් සඳහා කාබනික පොහොර යොදා ගන්නා බව සාමාන්‍ය කරුණක් වුවත් එවන් තත්ත්වයක් තුළ මෙවන් ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පොහොර හිඟයක් ඇතිවූයේ ගෙවතු වගාව නිසා නොව පසුගිර රජය පොහොර ආනයන කරුවන්ට රුපියන් බිලියන 23කට අධික මුදලක් ගෙවිය යුතු පසුබිමක බව මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නා. මෙම අවස්ථාවේ රජය මැදිහත් වී පොහොර ආනයන කරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවා ඔවුන් නැවත පොහොර ආනයනයට යොමු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සිරවී තිබූ පොහොර සාම්පල පරික්ෂාව ද කඩිනම් කිරීමට පියවර ගත් බව පෙන්වා දෙන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන මෙවැනි පුද්ගලයින්ගේ වහසි බස්වලට නොරැවටී අභියෝගාත්මක අවස්ථාවේ රජය ගෙන යන වැඩපිළිවෙල හා එක්ව වගා කටයුතුවල නිරතවන ලෙසයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.