බලයේ රැදී සිටීමට කල්පනා නොකර අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති වන්නිලා ඇත්තන් පැවසීය. ආදිවාසී නායකයා මේ බව
පැවසුවේ, පෙරේදා (11දා) දඹාන, කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු මැතිවරණයත් සමග රට තුළ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුමත් සමග ජනතාවගේ ගැටලු අමතක කර, සුරංගනා කථා දොඩමින් රට පුරා මැතිවරණ පොරොන්දු දෙමින් යළි ජනතාව රවටමින් දේශපාලකයන් කටයුතු කරන සමයක් හේතුවෙන් ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු බව වන්නිල ඇත්තෝ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකවරයා,

"අපේ රටට නිදහස ලැබුණාට පස්සේ මේ රටේ විවිධ කාලවලට පත්වෙච්ච නායකයො, පාලකයෝ විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් පත්වෙලා තියෙනවා. මම විශ්වාස කරන විදියට මම දැක්ක විදියට මේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සංස්කෘතිය ගැන හිතලා වැඩ කරපු අය බොහොම අල්පයි.

රට පාලනයට අලුතින්ම කණ්ඩායමක් පත්විය යුතුයි කියලා වත්මන් ජනාධිපතිවරයා මේ වෙනකොට හොඳ තීරණයකට එළැඹිලා ඉන්නවා. පසුගිය  කාලය දෙස හැරිලා බලන විට ඒ හැම දවසකම රටේ කථාබහට ලක්වුණේ රටේ පාලකයන් කරපු දූෂණ, භීෂණ, මංකොල්ල ගැන. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න, බඩු මිල ඉහළ යෑම්, ජීවත් වීමේ අපහසුව ගැන කථා කරනවා වෙනුවට පසුගිය කාලය පුරාම මුල් තැන අරගෙන කථා කළේ රටේ සිදුවෙච්ච භීෂණ, දූෂණ, වංචා ගැන. ඒවාගෙන් තාමත් රටට ප්‍රතිඵලයක් ලැබිලා නෑ කොච්චර කථා කළත්,  ඒ නිසා මේ රටේ වැදගත් ඡන්දයක් උදාවෙලා තියෙන කාලයක වකවානුවක, රටේ ජනතාව බුද්ධිමත්ව හිතලා තීරණයක් අරගන්න ඕන. රට, ජාතිය, ආගම, සංස්කෘතිය, පරිසරය ආරක්ෂා කරන, බුද්ධියෙන් හිතලා මතලා වැඩ කිරීමේ හැකියාව තිබෙන ජවසම්පන්න තරුණයෝ පාර්ලිමේන්තුවට පත්කරලා යවන්න. ආණ්ඩුවක් වශයෙන් බලයට පත් විය යුත්තේ එහෙම කණ්ඩායමක්.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා. ඒ ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න පිරිස් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. ඉතිහාසයේ ඉඳලම පැන පැන ඉන්න බොහෝ පිරිසකගෙන් පිරිච්ච පක්ෂ දෙකක් තියෙන්නේ. ඒ අය ගැන හොඳට විපරම් කරලා බැලුවාම හැරමිටියක් නැතුව පාරේ බැහැලා යන්න අමාරු වැඩි පිරිසකුත් ඒ අය අතර ඉන්නවා. කෙනෙක් වයසට යනවා කියන්නේ යහපත් කල්පනාවක් නැති, කාගෙවත් උදව්වක් නැතිව යමක් කරගන්න බැරි තත්ත්වයට පත්වන, අත දරුවෙක් වගේ ළමා කාලයේ හැසිරීම් පෙන්නන සමයක්. ඒ වගේ කණ්ඩායම් දැන්වත් තරුණ පරපුරට නායකත්වය භාරදීලා, තරුණයන්ට උපදේශකත්වය ලබාදෙමින්, රට පාලනය කරන ආකාරය ගැන තමන්ගේ අත්දැකීම් ගුරු හරුකම් ලබාදෙන්න ඕන.

හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරීම තේරුමක් නෑ. රටට සෙතක් නෑ. දැන් රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටේ වයසක දේශපාලකයෝ ගැන හිතලා, ඒ අය නැවත පත් කරගැනීමෙන් වැළකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව දෙන්න. මට පක්ෂයක් පාටක් නෑ. අරයා හොඳයි මෙයා හොඳයි කියලා මම කියනවා නෙවෙයි. මම රටට දෙන පණිවිඩය තමයි, රටට වැඩ කරන්න පුළුවන්, හොර බොරු නැති වංචාව නැති, කථා කරන ආකාරයෙන්ම වැඩ කරන තරුණ පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරන්න කියලා.

මට දැනගන්න ලැබුණා අස්ගිරිය, මල්වතු විහාරයන්හි නායක හිමිවරුත් හොඳ තීරණයක් අරගෙන තියෙනවා කියලා. මමත් ඒ තීරණයම අනුමත කරනවා. මේ වාරයේදීවත් හොඳ හැටි කල්පනා කරලා, හිතවතා කියලා යාළුවා කියලා නෑදෑයා කියලා හිතන්නේ නැතිව රටට වැඩ කරන පුද්ගලයෙක්ට කතිරේ ගහලා පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න කියලා මම රටේ ජනතාව දැනුවත් කරනවා” යැයි පැවසීය.

- රංජිත් කරුණාවීර -