බ්‍රිතාන්‍යයේ සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හෙට දහවල් 12.40 ට පැමිණීමට නියමිතව ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට සිය මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා
සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අවසරයක් හිමි කරදුන්  බව ගුවන් සේවය පවසයි.


UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය බ්‍රිතාන්‍යයේ සිරවී සිටින මෙරට පුරවැසියන් පිරිසක් රැගෙන පැමිණීමට කටයුතු යොදා ඇතැයිද හෙට එනම් මාර්තු 19 වැනිදා මෙරට වේලාවෙන් දහවල් 12.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගෙන ඇති පූර්ව තීරණය අනුව  අද රාත්‍රී 12 සිට  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තය වෙත කිසිදු ගුවන් මගියෙකු භාරගන්නේ නැත. එම අවස්ථාව පසුව හෙට (මාර්තු 19) අලුයම 4.00න් පසුව ලෙස වෙනස්වූ අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය එම කාලසීමාවෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන නිසා ඒ සඳහා විශේෂිත අවසරයක් ලබා ගැනීමට  සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
UL504 දරණ යානයෙන් පැමිණෙන මොවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කෙරෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පවසා තිබේ.
රජයේ නියමය අනුව ගුවන් යානා වලින් ලංකාවට ඇතුළුවීම නවතා ඇති වුවද මෙරටින් පිටවන ගුවන් යානා, කාර්ගෝ ප්‍රවාහන කටයුතු සදහා මෙන්ම මාර්ගස්ථ (Transit) මගීන් ලෙස කටුනායක ගුවන් තොටුපොළ යොදා ගන්නා මගීන්ට අවශ්‍ය සේවා සැපයීමට ගුවන් තොටුපොළ දිගටම විවෘත කර තැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා තිබේ.