කොරෝනා වෛරස් ලක්ෂණ තිබූ බවට හඳුනාගෙන ඇති දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි සැකකටයුතු හිමි නමක් ඊයේ (17) පෙරවරුවෙහි තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම හිමිනම දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික් රෝහල වෙත යැවීමට තිස්සමහරාම රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා.



තිස්සමහරාම ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වාසය කරනු ලබන මෙම හිමිනම දඹදිව වන්දනාවේ ගොස් නැවත පසුගිය 11 වැනිදා ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වනවා.

මෙම හිමිනම තිස්සමහාරාම රෝහලට රැගෙන ආ ත්‍රීවීල් රථ රියැදුරුව පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර දඹදිව වන්දනාවේ ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විදේශ සබඳතා සහ බුද්ධශාසන අමාත්‍යාංශය එක්ව කටයුතු සූදානම් කරමින් සිටිනවා.

වන්දනා නඩ විසි දෙකක පිරිසක් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින අතර මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුවත් විශේෂ ගුවන් යානා චෙන්නායි සහ නවදිල්ලි ගුවන් තොටුපොළවල් වෙත යවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.