අධිසුඛෝපභෝගී යාත්‍රාවලින් පැමිණෙන කිසිඳු සංචාරකයෙකු මෙරටට ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබෙන බවත්, එහෙත් යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් වරාය තුළින් ලබාගත හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

'කෝවිඩ් 19’ වෛරසය පැතිර යන රටවලින් පැමිණෙන විදේශිකයන් පිළිබඳව හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳව ඔවුන් රැඳී සිටින ස්ථානයන් තුළදී දින 14ක කාලයක් සොයා බලන බවද ඒ මහතා පවසා සිටියේය.

ඉරානය, ඉතාලිය, දකුණු කොරියාවේ සිට පැමිණන සියලුම පුද්ගලයන් පිළිබඳව තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර, ගුවන් තොටුපොළේ සිට ලංකාවට ඇතුළත් වූ මොහොතේ සිට මෙම කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව VIP පැමිණීමේ දොරටු හරහා ඇතුළත් වන පිරිස් මෙම ක්‍රමවේදයට මෙතෙක් ඇතුළත් කර නොතිබූ බවත්, එහෙත් මින් ඉදිරියට එම දොරටුවෙන් පැමිණෙන පිරිස්වල දත්ත පවා මෙම වැඩපිළිවෙළට ඇතුළත් කෙරෙන බවත් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල ලංකාවට පැමිණි ගුවන් මගීන් එක්දහස් නවසිය පනස් හතර දෙනෙකු පසු විපරමකට ලක්වෙමින් සිටින බවත්, මෙම පිරිසෙන් 679 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මීට අමතරව චීන ජාතිකයන් හත්සිය හතළිස් හතක් හා කොරියානු ජාතිකයන් තුන්සිය අසූවක් හා වෙනත් රටවලින් පැමිණි ගුවන් මගීන් එකසිය හතළිස් අටක් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

පසු විපරමට ලක්වන පිරිසෙන් හයසිය හැත්තෑ අටක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ සිටින බවත්, මීට අමතරව ගම්පහ, කළුතර ඇතුළු දිස්ත්‍රික්කවල සෙසු පිරිස් සිටින අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයන් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ කටයුතු සිදුකරන බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -