75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ
කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)