ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා හේතු වූයේ භික්ෂූන් වහන්සේලා වුවත්, පොහොට්ටුවට ඒ බව අමතක වී ඇති බව සිංහලේ බලය ජාතික සංවිධානයේ ප්‍රධාන
ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (11දා) නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

‘කුමන්ත්‍රණය පරදවමු - භික්‍ෂුවගේ දේශපාලන අයිතියට අත නොතබනු' යන තේමාව මුල් කරගනිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පඤ්ඤාලෝක හිමියෝ,


“පහුගිය මාසයක දෙකක කාලයක් තිස්සේ මේ රටේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණය තමයි භික්ෂූන් වහන්සේලාට තියෙන දේශපාලන අයිතිය විනාශ කරන එක. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පොහොට්ටුවේ කණ්ඩායමකුත් අනියමින් කොටස්කරුවන් වෙලා මේ දේවල් කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාස උත්සාහ කළා මිතුරු වෙසින්, සමාව භජනය කරමින් තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න. ඒක සාර්ථක වෙන්නේ නෑ කියලා දැනගත්තු නිසා තමයි භික්ෂූන්ගේ දේශපාලන අයිතිය අභියෝගයකට ලක් කරන්න උත්සාහ කරන්නේ.

මහනායක හාමුදුරුවරු ඇතුළු භික්ෂූන් වහන්සේලාත් නියමයෙන් සහ අනියමෙන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා දුක්විඳලා තමයි ගෝඨාභය රාජපක්‍ෂ වැනි ජාතික නායකයෙක් පත් කළේ. හැබැයි අද වෙද්දි පොහොට්ටුවේ කණ්ඩායමට ඒක අමතක වෙලා තියෙනවා. ඔවුනුත් භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වීම අතිශය කනගාටුදායකයි.


භික්ෂූන් වහන්සේලා විතැන් වුණු දේශපාලනයකට ගියොත් කිසිම දවසක ඒ බලකඳවුරුවලට පැවැත්මක් නෑ. මේ වෙලාවේ පොහොට්ටුව සිදුකරන්නේ උක් දණ්ඩක සාරය උරා බීලා විසි කරනවා වගේ භික්ෂූන් වහන්සේලාගේ ශක්තියෙන් බලය ලබාගෙන ඒ හැම දෙයක්ම අමතක කර දැමීමක්. කිසිම අන්තවාදියෙකුට මේ රටේ දේශපාලනයේ භික්ෂූන්ගේ භූමිකාවට අත තියන්න දෙන්නේ නෑ. අපි මේ කුමන්ත්‍රණය නවත්වන්න පොහොට්ටුව වුණත්, සමගි ජනබලවේගය වුණත්, වෙනත් කණ්ඩායමක් වුණත් සටන් කරනවා. කඩේ යන දේශපාලන ක්‍රමය මහනායක හිමිවරු ඇතුළු සියලු දෙනාටම හොඳයි. තම තමන්ගේ වැඩවලට දේශපාලනය භාවිත කළාට කමක් නෑ. හැබැයි තීන්දු තීරණ ගන්න, ව්‍යවස්ථාදායක සභාවට, මේ රට හදන තැනට භික්ෂූන් වහන්සේලා යන එක වැරදියි කියලා කියන්නේ"යනුවෙන්ද පවසා සිටියේය.
- ෂවින්ද්‍යා එරන්දතී -