කුරුණෑගල ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඊයේ (3) පෙරවරු 10.00ට පමණ ඇසුණු අධිබල ශබ්දයක් හේතුකරගෙන ජනතාව අතර දැඩි නොසන්සුක්කාරී තත්වයක් ඇති විය. එක් වරම අහසේ මහා ශබ්දයක් 
නගමින් යමක් පුපුරා යමින් දෙදරුම් කන ආකාරයේ ශබ්දයක් පැතිර ගොස් තිබූ අතර කුරුණෑගල, මාවතගම පමණක් නොව හතරලියද්ද වැනි දුර බැහැර ප්‍රදේශ වලටද එම ශබ්දය ඇසී තිබූ බව වාර්තා විය. එවැනි විශාල ශබ්දයක් නිකුත් වූයේ කුරුණෑගල ගුවනේ ගමන් කළ හෙලිකොප්ටර් යානයක් මාවතගම ඉගුරුවත්ත වටරැක ප්‍රදේශයට කඩා වැටීමෙන් බවට තොරතුරක් පැතිර යාමෙන් පසුව දැඩි කලබලකාරී වාතාවරණයක්ද ඇතිවී තිබුණි.

එම තොරතුර ප්‍රචාරය වීමත් සමග එවැන්නක් සිදුවී ඇත්දැයි දැකබලා ගැනීම සඳහා ජනතාවද, පොලිස් හා යුද හමුදා නිලධාරීන්ද, කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ද , මාධ්‍යවේදීන්ද වශයෙන් විශාල පිරිසක් මාවතගම ඉගුරුවත වටරැක ප්‍රදේශයට ගොස් සිටියහ. එම ප්‍රදේශය ආශ්‍රිතව පොලිසිය සහ යුද හමුදාව එක්ව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද එවැනි ආකාරයක අනතුරක් පිළිබඳව කිසිදු තොරතුරක්  වාර්තා නොවූ බව මාවතගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුබසිංහ මහතා ප්‍රකාශ කළේය. කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතාද කියා සිටියේ අධිබල ශබ්දයක් සමග හෙලිකොප්ටර් යානයක් කඩා වැටුන බවට ආරංචි පැතිර ගොස් තිබුණඳ එවැනි සිදුවීමක් වාර්තා වී නැති බවය.

-පුෂ්පකුමාර ජයන්ත-