තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම්  සිදුකරන අතරතුරදී මාර්ගයේ කොටසක් කැඩී යාම හේතුවෙන් කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය පෙරේදා රාත්‍රියේ සිට තාවකාලිකව තංගල්ලෙන් වසා දැමීමට  පියවර ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.  කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල
පල්ලිකුඩාව ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියේ තංගල්ල කාර්යාලය ඉදිරිපිට වවුල් බෝක්කුව දැනට මාස කිහිපයක සිට අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබූ අතර එම ස්ථානයේදී රථවාහන ගමනාගමනයට  සකස් කර තිබූ තාවකාලික මාර්ගයේ ඉරිතැලීම්  කිහිපයක් ඉකුත් 28 වැනිදා සිදුව තිබේ. මෙම බෝක්කුව පළල් කිරීම සහ අලුත්වැඩියා කිරීමේ කටයුතු පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක් විසින් සිදුකෙරෙයි.

මාර්ගයේ ඉරිතැලීම් සිදුව තිබීම හේතුවෙන් සැහැල්ලු රථවලට පමණක් ප්‍රධාන මාර්ගය භාවිත කිරීමට පෙරේදා (29) දිනයේදී ඉඩ සලසා තිබිණ. පෙරේදා පස්වරු කාලයේදී මාර්ගයේ කොටසක් කැඩී ගොස් ඇති අතර මේ  හේතුවෙන් පෙරේදා (29) රාත්‍රී 10.00 සිට මාර්ගය වසා දැමීමටත් විකල්ප මාර්ග ඔස්සේ රථවාහන යැවීමටත් තංගල්ල පොලිසිය ක්‍රියා කර ඇත. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් පෙරවරු කාලයේදී මගීන් විකල්ප මාර්ග භාවිත නොකළ අතර මේ  හේතුවෙන් කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ අධික  රථවාහන තදබදයක් දක්නට හැකිවිය. ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඊයේ දිනයේදී සිදුකරමින් තිබූ අතර මාර්ගය රථවාහනවලට ගමන් කිරීමට හැකිවන පරිදි සකස් කිරීමටත් ඊයේ (1) පස්වරු කාලය වනවිට මාර්ගයේ ගමනාගමනයට සාමාන්‍ය පරිදි ඉඩ ලබාදීමටත් හැකිවනු ඇතැයි ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම කීය.

-ආරියදාස කොඩිතුවක්කු-