මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේදී වයස අවුරුදු දහයක කුඩා දරුවකු පැහැරගෙන යෑමට උත්සාහ කළ විදේශිකයන් සිව්දෙනකු සහ මෙරට පුද්ගලයන් දෙදෙනකු කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට මැණික්කුඹුර ප‍්‍රදේශයේ සති පොළක් අසලදී පෙරේදා (07 වැනිදා) පස්වරුවේ සැකකරුවන් මෙම දරුවා පැහැර ගැනීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවා සිය බාප්පා සමග සති පොළට පැමිණ සිටියදී වෑන් රථයකින් පැමිණි මෙම පිරිස එක්වරම දරුවා පැහැරගෙන යෑමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ දරුවාගේ බාප්පා ඔවුන් සමග පොරබදා දරුවා බේරාගෙන ඇත.

එහිදී වෑන් රථයේ පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇති අතර දරුවාගේ බාප්පා මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු වෑන් රථයේ අංකය ඔස්සේ විමර්ශන කළ කටුගස්තොට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන විදේශිකයන් සිව් දෙනා බංගලිදේශ ජාතිකයන් පිරිසක් බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් දරුවා පැහැර ගැනීමට උත්සාහ කිරීමේ හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිළිබඳ සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී තමන් විහිළුවට එසේ් කළ බව සඳහන් කළැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

දරුවා පැහැරගැනීමට උත්සාහ කළේ විහිළුවට යැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කටගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමන් ගමගේ