පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පසුදින සිට යාපනයේ ප්‍රදේශ රැසක  වර්ගවාදය ඉස්මතු වන ආකාරයේ පොස්ටර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි.  යාපනය, චාවකච්චේරි,
කොඩිකාමම් සහ කයිතඩි යන ප්‍රදේශවල මෙම පෝස්ටර් දක්නට ලැබුන අතර "ශිව සේනා" නම් සංවිධානයක් විසින් ඒ්වා අලවා තිබිණ. "හින්දු ඡන්ද දායකයින් හින්දු අපේක්ෂකයින් වෙත පමණක් සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කළ යුතුය"  යනුවෙන්  එම පෝස්ටර් වල සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මෙවැනි පෝස්ටර් මඟින්  මැතිවරණයක නිදහස් හා සාධාරණ බවට දැඩි බලපෑමක් එල්ල වන බවයි.  උතුරු පළාතේ 43% ක කතෝලික හින්දු ජනගහණයක් වාර්තා වන බවත්, එම ජනතාව අගතියට පත් කරමින් අලවන මෙවැනි පෝස්ටර් නිසා සැබෑ ජනමතය විකෘති වී යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද හෙතෙම කීය. මේ නිසා මෙම පොස්ටර් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය ඊයේ දිනයේ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ  බවත් මනාස් මකීන් මහතා වැඩිදුරටත් පැවසීය.