කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ පසුගිය පෙබරවාරි මාසයේ ඉතාලියේ සිට යාපනය පේදුරුතුඩුව
ප්‍රදේශයට පැමිණි පිරිසක් නවාතැන් ගෙන සිටි ස්ථානයක් සොයා පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.



ඉතාලියේ සිට නාඳුනන පිරිසක් පේදුරුතුඩුව සුපර් මඩම් ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටින බවට පොලිසියට ලද
තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයට ගොස් නවාතැන්
ගෙන සිටි පිරිස් සම්බන්ධයෙන් විමසීම් සිදු කොට ඇත.

එහිදී පොලිසිය එම ප්‍රදේශයට යන අවස්ථාවේදී ඉතාලියේ සිට පැමිණි පිරිස් එම ස්ථානයේ නොසිටි අතර
නිවෙස් හිමියන්ට අදාළ පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටත් එම පිරිස් කිසියම් අපහසුතාවන්
නිරීක්ෂණය වන්නේ නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසටද දැනුම් දී ඇත.

එමෙන්ම පොලිසිය ප්‍රදේශවාසී ජනතාවගෙන්ද ඉල්ලීමක් කොට ඇත්තේ කිසියම් නාඳුනන පිරිස් හෝ සැක සහිත
රෝග ලක්ෂණයන් පෙන්නුම් කරන පුද්ගලයන් සිටින්නේ නම් ඒ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් හෝ පොලිසිය දැනුවත්
කරන ලෙසටය.

මුලතිව් - ශෂිකුමාර්