පවුලක අසමගිය හේතුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනයේදිම ගොකරැල්ල ප්‍රදේශයන් වාර්තා වූයේ අහස පොළොව නුහුලන අපරාධයකි. ඒ තියුණු පිහියකින් තම ලෙයින් ජාතක වූ සිඟිති දරුවන් දෙදෙනා මරා දැමීමට තරම් කුරිරු වූ පියෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගැනීමේ ශෝචනීය සිදුවීමයි.  ජාත්‍යන්තර කාන්තා
දිනය සැමරු පෙරේදා (8)  පස්වරු 5.00 ට පමණ මෙම අපරාධය  සිදුව ඇතැයි පැවසේ. ගොකරැල්ල වැව්සිරිගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි තිස් දෙහැවිරිදි සමන් කුමාර වික්‍රමසිංහ නමැත්තා තම නිවසේ කාමරයක් තුළ පස් හැවිරිදි තම පුතු වූ තනුජ ඔෂාන්ගේ සහ තුන් හැවිරිදි දියණිය වන නිකිණි සෙහන්සාගේ ගෙල තියුණු පිහියකින් කපා ඝාතනය කර ඔහු ද එම කාමරය තුළ දීම ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබුණි.


 ගොකරැල්ල පොලිස් වසමට අයත් මැද්දෙකැටිය ග්‍රාම නිලධාරි වසමෙන් වාර්ත වූ මේ අවාසනාවන්ත සිදුවීමත් ගොකරැල්ල ප්‍රදේශයම දැඩි කම්පාවකට පත්ව ඇත. මෙම සිදුවීම වන අවස්ථාවේදී මියගිය තිදෙනා සමග එකට වෙසෙන මියගොස් සිටින වික්‍රමසිංහ නමැත්තාගේ මිත්තනිය සහ තිස් හැවිරිදි ආබාධිත එකම සොයුරා නිවසේ නොසිටි බව කියයි. මියගිය  පුද්ගලයාගේ බිරිඳ ගල්කිස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවයේ යෙදී සිටින බව පැවසෙන අතර ඇය හා සැමියා අතර වූ පවුල් ආරවුලක් මෙම ඝාතන සිද්ධියට මූලික වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. පියා අතින් සාතනයට ලක්වූ කුඩා  දරුවා ගොකරැල්ල උඩතම්මිට ප්‍රාථමික විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.  මියගොස් සිටින වික්‍රමසිංහ නමැත්තා ගොකරැල්ල මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූවෙකි.


ඔහු ප්‍රේම සබඳතාවක් මත මාදම්පේ පදිංචි තරුණියක සමඟ මිට වසර හතකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹ ඇත. මියගිය පුද්ගලයා වෘත්තියෙන් පොල් කඩන්නෙකු වන අතර ඊට අමතරව තැඹිලි කපා විකුණා ජීවිතය ගෙන ගිය අයෙකි. ඔහු පොල් කැඩීමට භාවිත කරන වක් හැඩැති තියුණු අවියකින් දරු දෙදෙනාව ඝාතනය කර තිබූ බව ගොකරැල්ල පොලිසිය කියයි. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කුරුණෑගල  වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ වසන්ත ගුණවර්ධන මහතා ඉදිරියේ සිද්ධිය වූ ස්ථානයේදී පැවැත්විණි. වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය නිරීක්ෂණය කොට සටහන් ලබා ගත්තේය. එහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සාක්ෂි දෙමින් මියගොස් සිටින සමන් කුමාර වික්‍රමසිංහ නමැත්තාගේ මිත්තණිය වන  යූ.පී. උක්කු (72) නමැති කාන්තාව මෙසේ ප්‍රකාශ කළාය.

 “මියගොස් සිටින්නේ මගේ පුතාගේ වැඩිමල් පුතා සහ ඔහුගේ දරුවන් දෙදෙනායි. මගේ පුතා සහ ඔහුගේ බිරිඳ මියගොස් දැනට අවුරුදු ගණනාවක් වෙනවා. මගේ  මියගිය පුතාට මේ මියගොස් සිටින සමන් පුතාට අමතරව තව පුතෙකුයි  දුවෙකුයි සිටිනවා. දුව විවාහකයි. එයා වෙන ගමක පදිංචි වෙලා ඉන්නවා. දෙවැනි පුතා ඇවිදගන්න බැරි කතා කරන්න බැරි ආබාධිත තත්වයක පසුවෙනවා. ඒ දරුවයි මමයි මියගිය  සමන් පුතායි එයාගේ දරුවෝ දෙන්නයි  මේ ගෙදර තමයි පදිංචි වෙලා හිටියේ. මියගොස් සිටින සමන් පුතා රස්සාවට කළේ තැනින් තැන ගිහිල්ලා පොල් කඩන එක. ඊට අමතරව තැඹිලි කපලා අරගෙන ගිහින් විකිණිමත් කළා. එයාට පුංචී ලොරියක් තිබුණා. ඒක අරන් දීලා තිබුණේ සමන් පුතා බැඳලා හිටිය දුවගේ මව්පියෝ. ඒ ලොරියට සල්ලි ගෙවුවේ නැහැ කියලා මීට මාස දෙකකට කලින් ලොරිය ගත්ත කොම්පැණියෙන්ම ඒ ලොරිය අරගෙන ගියා. පුතා ඒ ගැනත් හිතේ අමාරුවෙන් හිටියේ. මේ නිසා ඒ පුතා බැඳලා හිටිය දුව ජනවාරි මාසයේදී ගල්කිස්ස කියන පැත්තේ ගෙදරක රස්සාවකට ගියා. පුතත් එක්ක තමයි මුලින්ම ඒ දුව රස්සාවට ගියේ. එහෙම  ගියාට පස්සේ එයා එකම එක පාරක් දරුවෝ බලන්න මෙහේ ආවා. දැන් සති දෙකකට විතර කලින් තමයි ආවේ. එදා දෙන්නා අතරේ බහින්බස් වීමක් සිද්ධ වෙනවත් මට ඇහුණා. මම ඒවාට මැදිහත් වෙන්න ගියේ නැහැ.

පහුවදා ඒ දුව ආයේ වැඩට යනවා කියලා ගියා. ඊට පස්සේ ආයේ ගෙදර ආවෙම නැහැ. පුංචි පුතා මේ අවුරුද්දේ තමයි ඉස්කෝලේට දැම්මේ. එයා ත්‍රීවීල් එකකින් තමයි ඉස්කොලේ යැව්වේ.  සමන් පුතා පොල් කඩන්න යාළුවොත් එක්ක ගියාම මම තමයි චූටි දුව බලා ගත්තේ. මේ විපැත්තිය වෙන්න කලින් දවසේ සමන් පුතා ෆෝන් එකෙන්  ගල්කිස්සේ ඉන්න එයාගේ නෝනාට  කතා කරලා තිබුණා. උඹ ගෙදර ආවේ  නැත්තම් මම දරුවෝ දෙන්නාගේම බෙල්ල කපලා මරලා මමත් මැරෙනවා කියලා දුවට කියලා තියෙනවා. ඒක අහගෙන හිටපු චූටි පුතා ඒ කතාව අල්ලපු ගෙදර ඉන්න එයාගේ යාළුවෙකුට කියලා තියෙනවා. ඒ පුංචි දරුවා අපිට ඒ කතාව පස්සේ කීවා.

මේ සිද්ධිය වුණු දවසේ ගෙදර හිටියේ නැහැ. ආබාධිත පුතාත් ළඟ ගෙදරකට ගිහින් ඉඳලා තියෙන්නේ. පහට විතර මම ගෙදර ඇවිත් බලනකොට දරුවගේ කිසිම සද්දයක් ඇහුණේ නැහැ. ආබාධිත පුතා ගෙදර සාලෙට වෙලා හිටියා. මම එයාගෙන් ඇහුවා කෝ පුංචි දරුවෝ කියලා. එයා බබ බබ් ගගා බයෙන් වාගේ මැද කාමරේට අත දික් කර කර මොකද්දෝ කීවා. මට ඒක තේරුම් ගන්න බැරි වුණාම මම කාමරේට එබිලා බලනකොට තමයි මේ විපත දැක්කේ. හපෝයි මට ඒක බලන්න බැරි වුණා. මම හයියෙන් කෑගහනකොට වටපිටාවේ ගෙවල්වල අය දුවගෙන ඇවිත් බලලා තමයි මට කීවේ  වෙලා තියෙන විපැත්තිය. සමන් පුතා කීව විදිහටම එයා ඒ විනාශය කරලා තියෙනවා".

මේ ඝාතනයට සම්බන්ධ සමන් කුමාර පිළිබදව මැද්දේකැටිය 486 ග්‍රාම නිලධාරී ටී.බී. රණවීර මහතා අපට සඳහන් කළ තොරතුරුය.

“මේ තැනැත්තා මගේ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සමෘද්ධිලාභියෙක්. ඔහුට සමෘද්ධි ණය යෝජනා ක්‍රම මගින් ණය ලබා නොගෙන ප්‍රදේශයේ ක්‍රියාත්මක  විවිධ පෞද්ගලික ආයතනවල ණය යෝජනා ක්‍රම මගින් ණය ලබාගෙන සිටි අයෙක්. මේ ආකාරයට ලබාගත් ණය  රාශියක් නිසියාකාරව ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔහු විශාල ණය බරකින් පෙළුණු අයෙකු බවද මට වාර්තා වෙලා තිබුණා. මීට අමතරව ඔහු බිරිඳත් සමග එකතු වෙලා කුඩා ලොරියක් ගෙවීමේ පදනම මත ලබාගෙන ඒකෙන් තැඹිලි කපා විකිණීමත් සිදු කර තිබුණා.

එම ලොරියට නිසියාකාරව මාසික ණය වාරික නොගෙවීම හේතුවෙන් මීට මාස දෙකකට පමණ ඉහතදී ෆිනෑන්ස් කොම්පැණියකින් ලොරිය රැගෙන ගිය බවත් මට වාර්තා වුණා. මම කීපයක් වාරයක්ම මේ පුද්ගලයා හමු වුණාම මේ විදිහට ණය වෙලා අමාරුවේ වැටෙන්නෙ එපා කියලා අවවාද පවා කළා. නමුත් ඔහු ඒවා ගණනකටවත් ගත්තේ නැහැ. මේ පුද්ගලයාගේ බිරිඳ මීට වසර තුනකට පමණ පෙර මැද පෙරදිග රැකියාවකට ගොස් ආපසු පැමිණි කෙනෙක්. ඉන්පසුව නැවත වාරයක් මැද පෙරදිග රැකියාවකට යාම සඳහා උත්සාහ කළා. ඒ සඳහා ප්‍රදේශයේම ග්‍රාමනිලධාරීගේ වාර්තාව අවශ්‍යමයි. බාල වයසේ දරුවන් සිටින කාන්තාවන්ට විදෙස් රැකියා තහනමක් ආණ්ඩුව මගින් පනවලා තිබෙනවා. මේ කාන්තාවටත් අවුරුදු පහට අඩු ලාබාල දරුවන් දෙදෙනෙකු සිටින නිසාම රට රැකියාවට යාමට අවශ්‍ය නිර්දේශය මම ලබා දුන්නේ නැහැ. නමුත් මට පසුව ආරංචි වුණා ඇය ව්‍යාජ ලිපියක් උපයෝගී කරගෙන මැද පෙරදිග රැකියාවට යන්න ගිය අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා කියලා. ඉන් පසුව ඇය එම නීතිවිරෝධී ක්‍රියාව නිසාම සිර දඬුවමකට පවා ලක් වෙලා සිටියා.

මේ සිද්ධියෙන් පසුව මේ කාන්තාව  ගල්කිස්ස ප්‍රදේශයේ කිසියම් ස්ථානයක රැකියාවකට ගියා කියලා මට දැනගත්තට ලැබුණා. පත්තරයක පළ වුණු දැන්වීමකට අනුව එම රැකියාවට ගියා කියලා  තමයි ආරංචි වුණේ. මේක සිදු නොවිය යුතු අවාසනාවන්ත සිද්ධියක්. මේ අඹුසැමි යුවළ අතර නිතරම ආරාවුල් තිබුණා කියලා මට වාර්තා වෙලා තියෙනවා. මේ පවුල් ප්‍රශ්න නිසාත් ආර්ථික ප්‍රශ්න නිසාත් දරා ගන්න බැරිව මෙවැනි අපරාධයකට පෙළඹෙන්න ඇති කියලා සිතන්න පුළුවන්." යැයි ද  ග්‍රාම නිලධාරී වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිද්ධිය දැක බලාගැනීමට ගොකරැල්ල රාජවේතියාරාමාධිපති මහගල්කඩවල පුණ්‍යසාර හිමියෝද වැඩම කර සිටියහ. තම බල ප්‍රදේශයේ ඇතිවූ මේ අවාසනාවත් සිද්ධිය සමිබන්ධයෙන් පුරාණසාර හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

“මේ දෑසින්  නොදැකිය යුතු දෙකකින් නෑසිය යුතු අවාසනාවන්තම සිදුවීමක්. “අපේ මේ පුංචි රටට කියන්නේ ලෝකෙන්ම උතුම් ධර්මද්වීපය කියලයි. එහෙම හඳුන්වන රටක දවසේ පැය විසිහතරම ධර්මය ප්‍රචාරය වන රටක ජනතාව බණ අහන රටකද මේ වාගේ අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනේ. අපි මහා උජාරුවට කතා කරන තාක්ෂණික  දියුණුවත් සමග අද මිනිස්කම වැළලිලා ගිහින්. අතීතයේ වගේ නොවෙයි ජනතාව අද ජීවත් වෙන්නේ එකිනෙකාගෙන් වෙන් වෙලා තනි තනිවයි. එක ගෙදරක තියෙන ප්‍රශ්න අල්ලපු ගෙදර කෙනා දන්නේ නැහැ. අතීතයේදී නම් ගෙදරක පවුල් සංස්ථාවේ ප්‍රශ්නයක් ආරවුලක් ඇති වුණාම ඒක විසඳගන්න එන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ළඟට. නමුත් අද එහෙම නැහැ.

පවුල් ප්‍රශ්නයක් අවසාන වන්නේ එක්කෝ උසාවියට ගිහිල්ලා දික්කසාදයකින්. එහෙමත් නැතිනම් මරණයකින්. ඒ තරමටම මේ රට සමාජය පිරිහීමට ලක්වෙලා අවසානයි. මේ වාගේ  ප්‍රශ්න විසඳන්න නම් අපේ රටේ ගමක්  ගමක් පාසා උපදේශන සේවාවන් පවත්වාගෙන යාම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. එහෙම වුණොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තරමකින් හෝ වළක්වා ගන්න පුළුවන් වේවි කියා මා සිතනවා".. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවන ගොකරැල්ල පොලීසිය  පවසන්නේ මියගොස් සිටින සමන් කුමාර, නමැත්තා ගංජා පානයට ඇබ්බැහිව සිටි අයකු බවය. මෙම සිද්ධියෙන් පසුව කළ පරික්ෂාවකදී එම නිවසේ තිබී මියගිය  පුද්ගලයා පාවිච්චියට ගත් බවට සැක කළ හැකි ගංජා ස්වල්පයක් ද හමුවූ බවත්  ගොකරැල්ල පොලීසිය සඳහන් කළේය.

මේ නිසා ඇතැම් විට ගංජා පානය කර මත්ව ඔහු මෙම අපරාධය කළා විය හැකි යැයි ද පොලීසිය සැක කරයි. මෙම ඝතත සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර මහේස්ත්‍රාත් සාක්ෂි විමසීම ලබන 19 වැනිදා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේදී පවත්වන බව දැනුම් දුන් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ වසන්ත ගුණවර්ධන මහතා එදිනට මියගිය පුද්ගලයාගේ විවාහක බිරිඳට සහ අනෙකුත් සාක්ෂිකරුවන්ට අධිකරණය  හමුවේ පෙනී සිටීමට ද නියම කළේය. මියගොස් සිටින තිදෙනාගේම  මෘතදේහ පශ්චාත් මරණ පරික්ෂණ සඳහා කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ගොකරැල්ල පොලීසියට දැනුම් දුන් වසන්ත ගුණවර්ධන මහතා එහි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියම කළේය.
පුෂ්පකුමාර ජයරත්න