දිඹුලාගල සොරුවිල මාර්ගයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති 36 හැවිරිදි පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත් වී තිබේ.

ඊයේ (12) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම මෝටර්රථය පදවා ඇත්තේ එම භික්ෂූන්වහන්සේ විසින්ම බවත් ඒ අවස්ථාවේ එම භික්ෂූන් වහන්සේ බීමත්ව සිට ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.



දිමුලාගල ආරණ්‍ය සේනාසනය විහාරවාසී හිමිනමක් වූ උන්වහන්සේ පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කාර භික්ෂූන් වහන්සේද වේ.

අනතුර සිදුව ඇත්තේ දිඹුලාගල සිට සොරුවිල දෙසට උන්වහන්සේ රිය පදවමින් සිටියදී මෝටර්රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනි.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ දේවමිත්තාලංකාර හිමියෝ අපවත් වී ඇත්තේ මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තවත් තරුණයෙකු ගමන් කර ඇති අතර ඔහුද තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

එම භික්ෂූන්වහන්සේට විරුද්ධව ස්ත්‍රී දූෂණ චෝදනාවලකට අදාළව අධිකරණය හමුවේ නඩුවක්ද පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.