මේ වනවිට කොරෝනා වෛරස් අවදානම නිසා රටම බියට පත්ව තිබෙන අතරවාරයේ ඊටෙ සම්බන්ධයක් නැතිව රටපුරා ඩෙංගු රෝගය යළි පැතිරීමේ දැඩි අවදානමක්ද පවතින බව රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා
නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය සම්බන්ද අවධානය අඩුවීම නිසා ඩෙංගු රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව මෙතෙක් කරන ලද කීට විද්‍යා සමීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා මෙම නිවේදනය නිකුත් කර ඇත.

මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ආශ්‍රිතව ඩෙංගු කීටයන් බහුලව හමුවන බවයි. එබැවින් කඩින් කඩ වැසි ඇතිවීම හා මැයි මාසයේ වැසි සහිත කාලගුණයත් හේතුවෙන් ඉතා වේගයෙන් ඩෙංගු පැතිරීම සිදුවන බැවින් මේ සඳහා සියලු දෙනා දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව ද එම සංගමය පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් නිවසේ රැඳී සිටීමට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම නිවෙස් අවට ඇති ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් වැසි ජලය පිරෙන භාජන ඇතුළු සියලු දේ වැසි ජලය එකතුවීමට නොහැකි තත්වයට පත්කරන ලෙසත් රජයේ සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.