අභිරහස් ලෙස මියගොස් ඇතැයි කියන සිසුවකුගේ මළසිරුරක් වික්ටෝරියා ජලාශයේ තිබී ඊයේ (5) දහවල් සොයාගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. මෙසේ සොයා ගෙන ඇත්තේ නූගේතැන්න විදුහලේ 12 වසරේ
ඉගෙනුම ලබමින් සිටි පී.ජී. ලක්ෂාන්
සඳවින්න නමැති 17 හැවිරිදි සිසුවකු ගේ මළසිරුර බව පොලිසිය කළ මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත.වික්ටෝරියා ජලාශයේ මළ සිරුරක් පාවෙනු දැක ඇති පිරිසක් පොලිසියට  මේ බව දැනුම් දීමෙන් පසු පොලිසිය තෙල්දෙණිය නගරයට ආසන්නව ඇති  ජලාශයේ මළ සිරුර තිබූ ස්ථානයට ගොස් ඊයේ (5) දහවල් එම සිසුවාගේ  සිරුර ගොඩගත් බව පොලිසිය කියයි. ජලාශයෙන් ගොඩගත් මළ සිරුර  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයාගේ  නියෝගය මත තෙල්දෙණිය මූලික රෝහලට යොමුකළ බවද පොලීසිය කීය.

සිසුවාගේ සිරුර සම්බන්ධ පශ්චාත්  මරණ පරික්ෂණ කටයුතු එහි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකිරිමට නියමිතව තිබුණි. මෙම සිසුවා වික්ටෝරියා ජලාශයට වැටුණාද ,නොඑසේනම් ඔහු ජලාශයට පැන්නාද, සිසුවාට කිසියම් අයකුගෙන් අනතුරක් වූවාදැයි යන කරුණු සම්බන්ධයෙන්  විදිමත් පරික්ෂණයක් පැවැත්වීමට පොලිසිය ඊයේ (5) සවස ක්‍රියාත්මක වූ බව තෙල්දෙණිය පොලිසිය කියයි. මෙම සිසුවාගේ කලිසමේ සාක්කුවේ තිබූ ජංගම දුරකථන දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම ජංගම දුරකථන දෙකේ අවසන් පැය කිහිපයේදි පැමිණි දුරකථන ඇමැතුම් සහ ලබාගත් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව පොලිසිය  කියයි.  මෙම සිසුවා සම්බන්ධයෙන් සිදුකරනු ලබන මූලික පරීක්ෂණවලදී මව්පියන්ගෙන්ද පාසලේ මිතුරන්ගෙන්ද තොරතුරු ලබාගන්නා බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

-ජේ.එ.එල්.ජයසිංහ-