කොරෝනා වයිරසය මඟින් මේ වනවිට තිදෙනකු මියගොස් ඇතැයි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය
ප්‍රචාර ගෙන ගිය බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන

ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව (විනය හා කල්ක්‍රියා) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
අජිත් රෝහණ මහතා පැවැසීය.


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාගේ
ප්‍රධානත්වයෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අජිත් රෝහණ මහතා මෙසේ පැවැසීය.

නිමින්ද ප්‍රියදර්ශන නමැති එක් සැකකරුවකු ඊයේ අලුයම 4.30ට පමණ බණ්ඩාරගම ප්‍රදේශයේදී
අත්අඩංගුවට ගත් අතර දුෂ්මන්ත අමිල යන තවත් සැකකරුවකු පෙරේදා දහවල් 11.00ට පමණ අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා පැවැසීය.

මෙම සැකකරුවන් සමාජ මාධ්‍ය භාවිත කරමින් මේ වනවිට ලංකාව තුළ කොරෝනා හේතුකොටගෙන මරණ
තුනක් ගැන වාර්තා වී ඇති බවත් එයින් දෙදෙනකු  IDH උණ රෝහලේදීත් එක් අයකු පොළොන්නරුව
රෝහලේදීත් මියගොස් ඇති බවටත් බොරු ප්‍රචාර මඟින් ජනතාව කුපිත කරවීමට කටයුතු කර ඇති බවට අජිත්
රෝහණ මහතා මාධ්‍ය සාකච්ඡාව හමුවේ පැවැසීය.


මෙසේ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් ජනතාව කුපිත කරවීමට උත්සාහ කළ මෙම
පුද්ගලයන් දෙදෙනාට 'පරිගණක අපරාධ පනත' හා 'ලංකා දණ්ඩ නීති සංග්‍රහය' යටතේ චෝදනා ගොනු
කර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා
වැඩිදුරටත් පැවැසීය.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයකු ත්‍රිරෝද රථ රියැදුරකු බවද අනෙක් පුද්ගලයා
රූපලාවණ්‍ය ආයතනයක සේවය කරන අයකු බවද අනාවරණය වූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට කොරෝනා වයිරසය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙනගිය පුද්ගලයන් විසිතුන්දෙනකු පිළිබඳව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බව අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත්
අදහස් දැක්වීය.

හංසි නානායක්කාර