ලෝකය පුරා මිලියන 8 ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු
සහ මධ්‍යම ආදායම් රටවලය. සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයති. එලෙසම වසරකට 500 - 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යති. උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවති. උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පුද්ගලයිනට, පවුල් වලට සහ පුළුල් ලෙස ගත් කළ, සමාජයේ ද සෞඛ්‍යය උදෙසා වැදගත් කාර්ය භාරයක් කරයි. 2030 වසරේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැළසුම් ක්‍රියාත්මක කරන අවස්ථාවක, උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම අරමුණු කර ගත් සේවා සැපැයීම, ලොව පුරා සෑම ආණ්ඩුවකම සැළකිල්ලට භාජනය විය යුතුය.

2010 වසරේ දී 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳව යෝජනාවක් (63.17 න්‍යාය පත්‍ර අංක 11.7) සම්මත කර වසර 10 ක් ගතව තිබේ. ඉන් පසු උපත් අබාධ පිළිබඳ දැනුවත් කිරීමේත්, අවේක්ෂණය ප්‍රවර්ධනය කිරීමේත් ක්‍රියාමාර්ග ගෙන ඇතත් සෑහෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට ඉතුරුව තිබේ. උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම කඩිනම් කිරීම සඳහා දායක වීමට, සියලුම පාර්ශ්වකරුවන් 2010 ලෝක සෞඛ්‍ය රැස්වීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය ය.

ලොව පුරා රටවල් 36 ක 400 ක් පමණ වූ ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යයන, පර්යේෂක, රාජ්‍ය තාන්ත්‍රික, ජාත්‍යන්තර සංවර්ධක සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ, 2020 නව වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත්  අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ දී උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට කැප වුහ.

උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම සඳහා උපදේශනයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ 63 වන ලෝක සෞඛ්‍ය රැස්වීමේදී උපත් අබාධ පිළිබඳ යෝජනා සමග අනුගත වෙමින් 2020 නව වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත්  අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සහභාගී වූවන් "උපත් අබාධ සත්කාරය සහ වැලක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය" ට අදහස් හා යෝජනා සපයමින් දායක වුහ.

ලෝක උපත් අබාධ දිනය යෙදුණු මාර්තු 3 වෙනි දින මෙම ප්‍රකාශනය සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිනි ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනියටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාටත් සංවර්ධනය වෙමින් පවතින රටවල උපත්  අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුවේ සභාපති වරුන් වන  ප්‍රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්න  සහ  මහාචාර්ය වජිර දිසානායක මහත්වරුන් විසින් බාර දෙනු ලැබිණි. මෙම ප්‍රකාශනය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානය වෙත යොමු කිරීමට නියමිතය.

කොළඹ ප්‍රකාශනය ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මියටද බාර දෙනු ලැබිණි.

මාතෘ සහ ළමා දර්ශක අතින් ඉහළම ස්ථානයක සිටින සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවෙන් මෙවැනි ප්‍රකාශනයක් නිකුත් කිරීමට හැකිවීම ගෞරවනීය තත්ත්වයක් බව වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.