රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා ඊයේ (16වැනිදා) නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබිය දී එය සැලකිල්ලට නොගනිමින් මහියංගණ නගරයට ආසන්නයේ
ප්‍රධාන ඇඟලුම් ආයතනයක් තම සේවක සේවිකාවන් 350කට අධික පිරිසක් උදෑසන 7.30 සිට සේවය සඳහා කැඳවා තිබිණි. මේ පිළිබඳව තොරතුරු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුහු කටයුතු කළහ.


මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද බණ්ඩාර රත්නායක, මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද්, මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ.ඒ.ආර්.එල්. සේනාධීර මැදිහත්ව ඇඟලුම් ආයතනයේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කර කොරෝනා රෝග ව්‍යාප්තියේ බරපතළකම පහදා දී හැකි ඉක්මනින් සේවකයන් නිවෙස් කරා යොමු කරවන ලෙස අවවාද කර ඇත. එය සැලකිල්ලට ගනිමින් ඇඟලුම් ආයතනයේ කළමනාකාරිත්වය උදෑසන 10.15 ට පමණ බස් රථ කැඳවා සේවයට පැමිණ සිටි සේවක සේවිකාවන් සියල්ල නිවෙස් කරා යොමු කරවීමට කටයුතු කරනු ලැබීය.

රංජිත් කරුණාවීර-මහියංගණය