පාකිස්තානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතිම අමු ගෙඩි අතර සගවා තිබූ
හෙරොයින් මත්කුඩු 100කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කරන වැටලීමකදී ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාපිටියකට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රාත්‍රිය වනතුරුත් කන්ටේනර් රථය පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබිණි.

පාකිස්තානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය ඊයේ රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායම් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව උසස් නිලධාරියෙක් පැවසීය.

කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් නිලධාරියා පැවසීය‍.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්තාන ජාතිකයා ඇතුළු සැකකරුවන් සිවුදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පාකිස්තාන ජාතික සැකකරු කන්ටේනර් රථයට ඉදිරියෙන් මග පෙන්වන්නා ලෙස වෙනත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා අල කන්ටේනරය සමග ගමන් ගත් පිරිස  බව ද පැවසේ.


මෙම කන්ටේනරය වෙන්නප්පුව ප්‍රදේශය බලා ගමන් ගෙන ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

මෙලෙසම ව්‍යාජ අල තුල හෙරොයින් සැඟවූ කාරයක් 2013 වසරේ සැප්තැම්බර් මස ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කෘත්‍රිම අල සහ ග්‍රීස් ටින්වල අසුරා තිබූ කිලෝ 261 හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ මංජුල සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

- ඉන්දිකා රාමනායක -