අධිවේගී මාර්ගය සඳහා පවරා ගත් ඉඩම්වලට වන්දි ලබානොදීම, පොලී මුදල් ලබානොදීම, අධික දුහුවිල්ල සහ ගල් කුඩු හේතුවෙන් නිවෙස්වල වාසය කිරීම අපහසුවීම, දුහුවිලි බද්ද නොගෙවීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ඊයේ (17දා) වීරකැටිය බැදිගම ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් ගම්වාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
වීරකැටිය, මැදගොඩ සහ , මල්බෙරිම ගම්වාසීහු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර මොවුහු පැය 1 1/2ක පමණ කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගය බැදිගම ගුවන්පාලම අසලින් අවහිර කළහ.

මාර්ග සංවර්ධන අධිකාරියේ වාහන මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල නිරත වාහන ධාවනය කිරීමටද විරෝධතාව හේතුවෙන් බාධා ඇතිවිය. ඇතැම් වාහන හරවා යැවීමට විරෝධතාකරුවෝ ක්‍රියා කළහ. විරෝධතාකරුවෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු හතරම ගල් සහ ටයර් යොදා සම්පූර්ණයෙන් අවහිර කිරීමට ක්‍රියා කළහ.

ඇතැම් නිවාසවල ප්‍රවේශ මාර්ග අවහිර වීම, බැදිගම පාලම කාපට් නොකිරීම, ව්‍යාපාර සහ වගාවන් කිරීමේදී අපහසුතා ඇතිවීම ආදී ගැටලු රාශියක් ඉදිරිපත් කරමින් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පවරාගත් ඇතැම් ඉඩම්වල මෙතෙක් කිසිඳු වන්දි මුදලක් හෝ කිසිඳු පොලී මුදලක් හෝ ලබානොදුන් බවද ඇතැම් ඉඩම් සඳහා වසර දෙකක කාලයක් තිස්සේ පොලී මුදල ලබා නොදුන් බවද විරෝධතාකරුවෝ කියති. අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඇතිවන දුහුවිල්ල සඳහා අවට නිවෙස් හිමියන්ට රුපියල් 15,000ක දුහුවිලි බද්දක් ගෙවන බවට පොරොන්දු වුවද වසර 5ක කාලයක් තිස්සේ එම බද්ද තමන්ට නොගෙවූ බව ගමිමු කියති. ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින කාල සීමාවේදී මාර්ග වලට ජලය ඉසීම සිදුකළ යුතු වුවද සේවකයන් එය සිදු නොකිරීම හේතුවෙන් දුහුවිලි සහ ගල්කුඩු නිසා තම ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වල වාසය කිරීම අසීරු බව විරෝධතාකරුවෝ පැවැසුහ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතැම් ස්ථානවල තවමත් වැටවල් යොදා නොතිබීම හේතුවෙන් ඇතැම් වගාබිම්වලට ගවයන් ඇතුළු වී වගාවන් පවා විනාශ කර ඇතැයි ගම්මු පැවැසූහ. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල නිරත බර වාහනවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉරිතළා ගිය නිවෙස් ප්‍රතිසංස්කරණය කිරීමට ආධාර ලබා නොදුන් බවද බර වාහන ධාවනය කිරීම නිසා ප්‍රදේශයේ අබලන් වූ මාර්ග ප්‍රතිසංස්කරණය කර නොමැති බව ගම්මු කියති.

විරෝධතාව පැවැති ස්ථානයට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සාකච්ඡා කළද ඉන් විරෝධතාකරුවෝ විසිර නොගියහ. තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සමන්ත පද්මකුමාර මහතා විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළ අතර අගමැතිතුමා විසින් මොවුන්ට ස්ථිර විසඳුමක් ලබාදෙන බවට වූ පොරොන්දුව මත විරෝධතාකරුවෝ විසිර ගියහ.

-සහම්පති මානගේ-