මාස හයක කාලයක සිට රුපියල් 500 - 550 අතර මිලකට අලෙවි වූ කැරට් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 300 - 350 දක්වා පහත වැටී ඇතැයි සීමාසහිත සමස්ත
ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි. එහෙත් රුපියල් පනහත් හැටත් අතර  මිලකට අලෙවි වූ වට්ටක්කා කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් එකසිය අසුවත් දෙසියත් දක්වා ඉහළ ගොස් තිබෙන බව එම සංගමයේ ජාතික සංවිධායක එම්.එම්. උපසේන මහතා පැවසීය.

අපේක්‍ෂ කළ ආකාරයටම එළවළු තොග මිල පෙබරවාරි මුල් සතියේ සිට අඩු වෙමින් තිබෙන බවත්,
ඒ අනුව දෙහි කිලෝවක තොග මිල රුපියල් තිහක් හතළිහත් දක්වා පහත වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.එසේම කැරට්වලට අමතරව ලීක්ස් කිලෝවක තොග මිල දෙසිය හතළිහත් රුපියල් දෙසිය අසූවත් අතර මිලක් ගන්නා බවත්, සාපේක්‍ෂව අනෙකුත් සෑම එළවළුවකම තොග මිල රුපියල් එකසිය විස්සත් දෙසියත් අතර මුදලක් ගන්නා බවත් ජාතික  සංවිධායකවරයා පවසා සිටියේය.

පවතින තත්ත්වයට අනුව උඩරට එළවළු පහතරට ඇතුළු ප්‍රදේශවලටත් පහතරට එළවළු උඩරට ඇතුළු අනෙකුත් ප්‍රදේශවලටත් බෙදාහැරීමට ක්‍රමවේදයක් සකස් නොකළහොත් ඉදිරි දෙසතියෙන් පසු ගොවීන්ට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් පවා ඇති විය හැකි බවත්, ඊට හේතු වී තිබෙන්නේ ඉදිරි දෙසතියෙන් පසු විශාල ලෙස එළවළු තොග ලැබීමට තිබෙන නිසා බවත් ඒ මහතා පැවසීය.

-ඉන්දික හේවාවිතාරණ-