සූරියවැව බැද්දේවැව නුගේකන්ද ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ඊයේ (13දා) පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සුයවැව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, යාය 02, නුගේකන්ද, බැද්දේවැව, සූරියවැව පදිංචිව සිටි එක්දරු පියෙකු වන දෙනගමගේ හසිත ගයාශාන් (අවු.27) නමැත්තෙකි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ මිය ගිය පුද්ගලයාගේම 25 හැවිරිදි මල්ලී බවයි පොලීසිය පවසන්නේ. මියගිය පුද්ගලයා මහ ගෙදර ඉඩම සම්බන්ධයෙන් මව හා මල්ලී සමග නිතර ආරවුල් ඇති කරගෙන ඇති බවත්, පසුගිය දිනක කිසියම් කටයුත්තක් සඳහා මරණකරු මවගෙන් මුදල් ඉල්ලා ඇතත් මව එම මුදල් නොදීම නිසා මියගිය පුද්ගලයා මල්ලි හා මව සමග ආරවුල් ඇති කරගෙන තිබෙන අතර, බීමත්ව
පැමිණ මරණකරු ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා එල්ලකළ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නිවැසියන් විසින්ම සූරියවැව රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබේ. සිරුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, සුරියවැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක වී.ඒ. අනුර දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- සූරියවැව - නුවන් ජයසේකර -