එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලෙස ආරාධනාවක් ලැබී තිබේ.



කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ආරාධනාව සජිත් ප්‍රේමදාස මහතාට යොමුකර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීම සම්බන්ධ ආරාධනාව සලකා බලන බව සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට පැවසූ බවද මේ සම්බන්ධයෙන් විමසීමේදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ පළමු උදාගම්මානය පිහිටා ඇත්තේද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රදේශයේ වන බැවින් කුරුණෑගල දිස්ත්‍රික්කය ඔවුන්ට සමීප දිස්ත්‍රික්කයක් බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා,

"සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකතුමාට මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න කියලා මම ආරාධනා කළා. එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උදා ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මුල්ම උදා ගම්මානය අඹන්පොළ ඇති කළේ. මේ නිසා කුරුණෑගල කියන්නේ ප්‍රේමදාස මහත්මයාට සමීප දිස්ත්‍රික්කයක්.

ඒ වගේම මම පාර්ලිමේන්තුවට පැමිණිදා සිටම සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයට පත්කිරීම වෙනුවෙන් පෙනීසිටියා. ඒ නිසා මගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ අවස්ථා තිබුණා.

කෙසේ වෙතත් මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයට සුවිශේෂයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාට කුරුණෑගලින් තරඟ කරන ලෙස මම ඉල්ලා සිටියා.

මේ ආරාධනාව සම්බන්ධයෙන් සලකා බලන බවද එතුමා ප්‍රකාශ කළා" යනුවෙන් පවසා සිටියේය.

මේ අතර විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මේ බව සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා,

"කුරුණෑගල දිස්ත්‍රික්කය රටේ විශාල භූමි ප්‍රමාණයක් තිබෙන දිස්ත්‍රික්කයක්. විශාල ජනතාවක් ඉන්නවා. මේ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල  දිස්ත්‍රික්කයට ඇවිල්ලා මැතිවරණයට ඉදිරිපත් වුණේ. මම ඒ වගේම තව කෙනෙකුට ආරාධනා කරන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම කියනවා කරුණාකරලා අපේ දිස්ත්‍රික්කයට එන්න. ඇවිල්ලා එක්සත් ජාතික පක්‍ෂයට තරඟ කරන්න. එතුමාව පිළිගන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ආදරයෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා” යැයිද සඳහන් කළේය.

-චාමර සම්පත්-