සයින්දමරුදු ප‍්‍රදේශයට නව නගර සභාවක් ලබාදීම බරපතළ දේශපාලන වරදක් බව දේශහිතෛෂී ජාතික ව්‍යපාරයේ මහලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

සයින්දමරුදු ප‍්‍රදේශය නගර සභාවක් බවට ප‍්‍රකාශයට පත්කිරීමේ තීරණය පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් සඳහන් කිරීමට තිබෙනවා. මෙම ප‍්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජනතාව ජීවත්වෙනවා. එම ප‍්‍රදේශය
නගර සභාවක් බවට පත්කර ගැනීම සඳහා 1987 සිට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා එම යෝජනාවට එකඟ වූයේ නැහැ. එහි ජාතිවාදී පදනමක් තිබුණු නිසා. එදා ඒ පිළිබඳව සංවාදයක් තිබුණා. එදා මෙම සයින්දමරුදු ප‍්‍රදේශය ගැසට් කළා කල්මුණේ නගර සභාව යටතට.

ඊට පසුව එහි දිගුවක් ලෙස 1989 දීත් මෙම ප‍්‍රශ්නය යළි මතුවූවා. එදා කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය දෙමළ සහ මුස්ලිම් ලෙස කොටස් දෙකකට බෙදුවා. ඒ ආකාරයට ජාතිකත්ව පදනමින් ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ බෙදන එක බරපතළ වරදක්. නමුත් මුස්ලිම් කොංග‍්‍රසයේ ඉල්ලීමට යට වෙලා පේ‍්‍රමදාස මහතා එම ඉල්ලීම 1989 ජනවාරි මාසයේ දී කි‍්‍රයාත්මක කර තිබෙනවා. එය දීර්ඝ කාලීන වශයෙන් මුස්ලිම් බල ප‍්‍රදේශයක් නිර්මාණය කර ගැනීමට අදාළව සිදුවූ දෙයක්.

සයින්දමරුදු කියල කියන්නේ කල්මුණේ නගර සභාවට අයත් බල ප‍්‍රදේශ හතරෙන් එකක්. 2001 දී චන්ද්‍රිකා මැතිනිය මුස්ලිම් කොංග‍්‍රසයේ ඉල්ලීම්වලට යටවෙලා සයින්දමරුදු වෙනම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත්කළා.

මේ ආකාරයට එම ප‍්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව මුස්ලිම් බෙදුම්වාදී ව්‍යාපාරය සමග බැඳිල තිබෙනවා. එම අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම ප‍්‍රදර්ශනය වී තිබෙනවා. 2003 දී ඔලූවිල් ප‍්‍රකාශය නමින් ප‍්‍රකාශයක් ප‍්‍රකාශයට පත්වී තිබෙනවා. එය මුස්ලිම් කොංග‍්‍රසයේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සහය ඇතිව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එම ප‍්‍රකාශයේ උතුර සහ නැගෙනහිර මුස්ලිම්වරුන්ගේ නිජභූමිය ලෙස පිළිගත යුතු බවත්, ඔවුන්ට වෙනම කවුන්සිලයක් අවශ්‍ය බවත්, ඔවුන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගත යුතු බවත් සඳහන් වෙනවා. ඉන්පසුව 2006 දී මුතූර් ප‍්‍රකාශ නමින් ප‍්‍රකාශයකුත් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. එම ප‍්‍රකාශය මගින් 2003 ඉල්ලීම් තවදුරටත් තහවුරු කරන අතර එකිනෙකට බැඳී නැති ප‍්‍රදේශ එකට එක්කරමින් වෙනම මුස්ලිම් සභාවක් පිහිටවිය යුතුය යන තීරණය ගෙන තිබෙනවා.

2006 වසරේ දී සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා මමයි. එදා එම සමුළුවට මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජිතයා ලෙස සහභාගි වූ කාරියප්ප නමැති නියෝජිතයා එම සමුළුවෙන් ඉල්්ලා සිටියා වෙනම තිබෙන මුස්ලිම් කලාප එකතු කරමින් මුස්ලිම් ජනතාව සඳහා වෙනම කලාපයක් අවශ්‍ය බව. එබඳු මුස්ලිම් කලාපයක් ප‍්‍රකාශයට පත්කළ හොත් උච්ච භූමිය බවට පත්වන්නේ සයින්දමරුදු ප‍්‍රදේශය. එම නිසා සයින්දමරුදු ප‍්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදීම වෙන්ව තිබෙන මුස්ලිම් ප‍්‍රදේශ එකට එකතු කරන මුස්ලිම් කලාපය යෝජනාව සමග බැඳී තිබෙනවා.

මේක සාමාන්‍ය ජනතාවගේ වුවමනාවක් නොවෙයි. මුස්ලිම් බෙදුම්වාදී නායකයන්ගේ වුවමනාවක්.

එරික් ගාමිණී ජිනප්‍රිය