පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව වගකීම් බැහැර හැරිම  සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ මූලික පරික්ෂණයෙන් පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පතිවරුන් තිදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු  අට දෙනෙකුට එරෙහිව දිය යුතු චෝදනා පත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමුකර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ ආරංචි මාර්ගවලින් පැවැසේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පරික්ෂණ සිදුකෙරෙන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් චෝදනා පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම කල් තැබූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විමර්ශන සිදුකර විනයානුකුලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා ලිපියක් යොමුකර තිබු අතර එහි නම තිබුණු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ෂන ඒකකය නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් චෝදනා පත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරින් 08 දෙනෙකුට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග කියයි. මෑතකදී විශ්‍රාම ගිය ජෝෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට එරෙහිවද විනය පියවර ගැනීම සුදුසු බවට මූලික විමර්ශනයෙන් පසු නිර්දේශ වී ඇතත් එය
පොලිස් කොමිෂන් සභාවට ලැබෙන අවස්ථාව වන විට ඒ මහතා විශ්‍රාම ගොස් තිබිණි.

මෙම මුලික විමර්ශනය ආරම්භ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන්  දෙදෙනකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකට බවත් මුලික විමර්ශන අවසන් වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත්, පොලිස් අධිකාරිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙසත් උසස්වීම් ලබා ඇති බවත් පොලිස් කොමිසම පවසයි. මෙම මූලික විමර්ශනයේ ප්‍රතිඵල අනුව චෝදනා පත්‍ර නිකුත් කිරීමට පොලිස් කොමිසම තීන්දු කළහොත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනයට අගතියක් සිදුවිය හැකි බැවින් චෝදනා පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ තීන්දුව කල් තැබූ බව පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක්  පැවැසීය.

-තරිඳු ජයවර්ධන-