භාණ්ඩ මගින් කොරෝනා රෝගය වැලදීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව චීනයෙන් පැමිණෙන භාණ්ඩ සීමාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු
හා සමාජ ආරක්‍ෂක ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/4 යටතේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේම, චීනයේ සිට පැමිණෙන මගීන් නොයෙක් රටවල් හරහා පැමිණීම හේතුවෙන් ඔවුන් නිරෝධායනය කිරීම ප්‍රායෝගික නොවන බවද එහිදී පවසා සිටි අමාත්‍යවරිය, රටට වරායවල් හරහා සෑම මගියෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරෙන බවද සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි
කිරීමක නිරත වූ අමාත්‍යවරිය,

"චීනයේ සිට පැමිණෙන මගීන් නොයෙක් රටවල් හරහා පැමිණෙන්නේ. ඔවුන් නිරෝධායනය කිරීම ප්‍රායෝගික නෑ. රටට වරායවලින් එන සෑම මගීන්ගෙන්ම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරෙනවා. සෑම මගියෙක්ගේම තොරතුරු අරගෙන නිරන්තර පරීක්‍ෂණයට ලක් කෙරෙනවා. වාණිජ හා බඩු බාහිරාදිය මගින් රෝගය වැලඳීමට හැකියාවක් නෑ. ඒ නිසා චීනයෙන් පැමිණෙන භාණ්ඩවල සීමා කිරීම අවශ්‍ය නෑ.

බීජිං, ෂැංහයි වෙත ගුවන් ගමන් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. වර්තමාන තත්ත්වය සලකා බලන විට කිසිදු බියක් ඇතිකර ගත යුතු නෑ. මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය බවක් පෙනෙන්නේ නෑ. ඉදිරියේදී අවශ්‍ය පරිදි මුබ ආවරණ වෙළෙඳ පොළට නිකුත් කෙරෙයි. හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් පමණක් ඊට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් සිදුවෙනවා. වෙනත් රටවලින් සංචාරකයන් ආකර්ෂණය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදුන්නා. කොරෝනා වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙනවා” යනුවෙන්ද පවසා සිටියාය.

එසේම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙන්ම ජාතික හදිසි තත්ත්වයක් ලෙස මුඛ ආවරණ නොමිලේ සපයන්නේද යන්නත්, ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව සුදානමකින් කටයුතු කරන්නේද යන්නත් විපක්‍ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-