රජයේ ආයතනවලට තාවකාලික අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියැදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානින් හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක්ද ඊයේ (18) |නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ස්ථිර කරනු ලබන කාර්යාල සහායක සේවකයන් හා ඒකාබද්ධ රියැදුරන් දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබිය යුතුවේ.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයන්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස තුනක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙසද එම චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

 -අජන්ත කුමාර අගලකඩ-