චීනය තුළ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය නොහොත් කොවිඩි - 19 තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට බලධාරීන් ජනතාව අතර සංසරණය වන මුදල් සහ නෝට්ටු පිරිසිදු කිරීමේ කටයුත්තක්
අරඹා තිබේ. පසුගියදා චීන මහ බැංකුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව බැංකු මඟින් මේ වනවිට පාරජම්බුල කිරණ හෝ ඉහළ උෂ්ණත්වයක් යොදා ගනිමින් මෙම මුදල් නෝට්ටුවල ඇති විෂබීජ විනාශ කිරීමේ කටයුතු සිදුකරන බව පැවසෙයි. අනතුරුව මෙම මුදල් සහ නෝට්ටු දින 7ක සිට 14ක කාලයක් ආරක්ෂිත ගබඩාවක ගබඩා කර තැබීමටත් සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම මෙම වෛරසය වැලැඳුණු පුද්ගලයන්ගෙන් නොවැලඳුණු පුද්ගලයන් වෙත ව්‍යාප්තවීම සඳහා අතින් අතට යන මෙම අපිරිසිදු මුදල් නෝට්ටු මූලිකවම හේතුවක් වී ඇති බවටද හඳුනාගෙන ඇත. එහිදී මූලික අදියර ලෙස වෛරසය දරුණු ලෙස ව්‍යාප්තව ඇති හුබෙයි පළාත තුළ මෙය ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව පළමුව එම පළාත වෙත යුආන් බිලියන හතරක් පමණ වටිනාකමින් යුත් නව මුදල් නෝට්ටු තොගයක් නිකුත් කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති අතර, එහිදී සංසරණය වූ මුදල් නෝට්ටු පිරිසිදු කිරීම සඳහා එකතු කරගෙන ඇත.