වත්මන් රජය මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රබන්ධ ගොඩනගමින් ආණ්ඩු බලය ලබාගත්තද ප්‍රබන්ධ මගින් ආණ්ඩු පවත්වාගෙන යාම අපහසු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා
පැවසීය. විපක්‍ෂ නායක කාර්යාලයේ  ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය කාලය තුළ යහපාලන රජය විසින්  රණවිරුවන් අත්අඩංගුවට ගත් බවට චෝදනා එල්ල කළ බවත්, එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නම්,
නිදහස් දිනය වෙනුවෙන් එම රණවිරුවන් නිදහස්  කිරීමට රජයට අවස්ථාව හිමිවූ බවත් මන්ත්‍රීවරයා එහිදී  පැවසීය.එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ කරුණාරත්න පරණවිතාන මහතා,

"අපි කියන්නේ ප්‍රබන්ධ මත ආණ්ඩු ගැනීමට ලේසියි. අර එම්.සී.සී. එකෙන් රට බෙදනවා, රට විකුණනවා වැනි ප්‍රබන්ධ ගොඩකින් ආණ්ඩු බලය ගන්න ලේසියි. පවත්වාගෙන යන්න බෑ. මොනවද කියපු ප්‍රබන්ධ. අපේ රජය යටතේ රණවිරුවෝ හතළිස් ගාණක් හිරේ දැම්මා කිව්වා. ඉතින් ඊයේ (04දා) නිදහස් කරන්න තිබ්බනේ. දැන් අපි වහාම කියනවා එහෙම හිරේ දාපු අය ඉන්නවා නම් නිදහස් කරන්න. නැත්නම් තමන් කිව්වේ බොරු කියලා කියන්න. ස්වාමීන් වහන්සේල්ලා සිරගත කරලා තියෙනවා කිව්වා. අපේ රජය එහෙම හිරේ දාලා තියෙනවා නම් අපි බලාගෙන සිටියා ඊයේ (04දා) නිදහස් කරයි කියලා.

නිදහස් කරේ නෑනේ. එම නිසා අපි කියන්නේ කියන කතා නෙවෙයි කරන ක්‍රියා තමයි වැදගත් වෙන්නේ. ප්‍රබන්ධ මත බොරු මත ආණ්ඩු පිහිටුවන්න පුළුවන් වුණාට ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මැති ඇමැතිවරුනි බොරුවෙන් රට පවත්වාගෙන යන්න බෑ. ඇත්තටම මුණ දෙන්න” යනුවෙන් පවසා සිටියේය.


-දිනේෂ් සමරකෝන්-